කෝටි 700ක මුදල් විශුද්ධිකරණ නඩුවක් යට ගැසීමට කෝටි 5ක සුඛෝපභෝගී නිවාසයක් අල්ලස් ලෙස ගත්තැයි චෝදනා!
මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) හිටපු ප්රධානී, ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අනිල් රවීන්ද්ර වෛද්යාලංකාර මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දැවැන්ත අල්ලස් සහ දූෂණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. “අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය” සංවිධානය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
එක්සත් ජනපදයේදී අධිචෝදනා ලබා වරදකරු වූ රියන්සි එඩ්වඩ්ස් නැමැත්තා විසින් ඇමෙරිකානු පුරවැසියන්ගෙන් වංචා කරන ලද රූපියල් මිලියන 7,246කට (කෝටි 724කට) ආසන්න අධික මුදලක් ශ්රී ලංකාව තුළ විශුද්ධිකරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේදී FCIDය මගින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. එසේම එම සැකකරුගේ සහ බිරිඳගේ ගමන් බලපත්ර තහනම් කිරීමටත්, උපයා ගත් වත්කම් අත්හිටුවීමටත් අධිකරණ නියෝග ලබාගෙන තිබුණි.
කෙසේ වෙතත්, අදාළ සැකකරුගෙන් අල්ලස් ලබා ගනිමින් මෙම ප්රබල නඩුව යට ගැසීමට කටයුතු කර ඇති බවට පැමිණිල්ලෙන් චෝදනා එල්ල වේ.
එම පැමිණිල්ලට අනුව හෙළිවන තොරතුරු මෙසේය:
සමාගම් අටවා අල්ලස් ගැනීම: නඩුව විභාග වන අතරතුර 2015 ඔක්තෝම්බර් මස රවීන්ද්ර වෛද්යාලංකාර මහතාගේ පුත් අසේල වෛද්යාලංකාර විසින් “මැෆෙයාර් කන්සල්ටින්” නමින් සමාගමක් ලියාපදිංචි කර ඇත.
කෝටි 5ක නිවාසය: එම සමාගම හරහා 2016 පෙබරවාරි මාසයේදී කොළඹ 03, ගාලු පාරේ පිහිටි ‘මොනොක් රෙසිඩන්සිස්’ හි රුපියල් මිලියන 52ක් (කෝටි 5.2ක්) වටිනා සුඛෝපභෝගී මහල් නිවාසයක් මිලදී ගෙන තිබේ.
සැකකරුගේ බිරිඳ සහ පොලිස්පතිගේ බිරිඳ එකට: ඉන් දින 3කට පසු අදාළ සැකකාර රියන්සි එඩ්වඩ්ගේ බිරිඳ සහ රවීන්ද්ර වෛද්යාලංකාර මහතාගේ බිරිඳ (අසේල වෛද්යාලංකාරගේ මව) අධ්යක්ෂවරියන් ලෙස යොදවමින් “සූර්යා ඉන්වෙස් නාෂනල් කෝපරේෂන්” නමින් තවත් සමාගමක් අරඹා, එහි ලිපිනය ලෙස අර කෝටි 5.2ක නිවාසයේ ලිපිනයම යොදාගෙන ඇත.
මෙම දූෂිත ගනුදෙනුවෙන් පසු, FCID ප්රධානියා විසින් අදාළ සැකකරු නඩුවෙන් නිදහස් කිරීමටත්, තහනම් කර තිබූ ගමන් බලපත්ර සහ වත්කම් සියල්ල නිදහස් කිරීමටත් අධිකරණය හමුවේ කටයුතු කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
2023 අංක 09 දූෂණ විරෝධී පනත යටතේ මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වා, අයථා ලෙස උපයාගත් සියලු දේපළ රාජසන්තක කර අදාළ නිලධාරීන්ට සහ පුද්ගලයන්ට එරෙහිව තදින්ම නීතිය ක්රියාත්මක කරන ලෙස “අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය” සංවිධානයේ සභාපති තුෂාර මහතා අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි.

