ලෝක බැංකු ආධාරයෙන් 2029 දක්වා ක්‍රියාත්මක වන වැඩසටහන ආරම්භ වෙයි

දේශගුණික විපර්යාස හමුවේ දිවයිනේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය සහ ජල සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ රුපියල් මිලියන 5,800 කට අධික මුදලක් ආයෝජනය කරමින් සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇත.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ උපදෙස් මත ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය වර්ෂ 2029 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

දිට්වා සුළි කුණාටු හානි සඳහා රුපියල් බිලියන 5.5 ක්!

‘ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය’ (IRDCRP) යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ ප්‍රධාන කොටසක් ලෙස හදිසි අවස්ථා ප්‍රතිචාර සංරචකය (CERC) ක්‍රියාත්මක වේ.

මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස විනාශයට පත් වූ දිස්ත්‍රික්ක 18 ක පිහිටි සුළු වාරි වැව් 290 ක් යථා තත්ත්වයට පත්කිරීම සඳහා පමණක් වෙන් කර ඇති මුදල රුපියල් 5,578,334,825.34 (රුපියල් බිලියන 5.57 ට අධික) කි.

ඊට අමතරව, IRDCRP ව්‍යාපෘතියේ සාමාන්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු යටතේ පොළොන්නරුව, හම්බන්තොට සහ යාපනය යන දිස්ත්‍රික්කවල පිහිටි සුළු වාරි වැව් 06 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් 256,168,900.88 ක මුදලක් වෙන් කර වැඩ කටයුතු ආරම්භ කර තිබේ.

වැඩිම වැව් ප්‍රමාණයක් බදුල්ලෙන් – දිස්ත්‍රික්ක 18 කට ප්‍රතිලාභ

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වැඩිම වැව් සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි. දිස්ත්‍රික්ක මට්ටමින් ව්‍යාපෘති බෙදී යන ආකාරය මෙසේය:

බදුල්ල දිස්ත්‍රික්කය: වැව් 97 යි

රත්නපුර දිස්ත්‍රික්කය: වැව් 29 යි

මන්නාරම දිස්ත්‍රික්කය: වැව් 24 යි

කුරුණෑගල දිස්ත්‍රික්කය: වැව් 19 යි

මහනුවර දිස්ත්‍රික්කය: වැව් 15 යි

වවුනියාව දිස්ත්‍රික්කය: වැව් 15 යි

(ඇතුළු දිස්ත්‍රික්ක 18 පුරාම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ)

ගොවීන්ට ලැබෙන දිගුකාලීන ප්‍රතිලාභ

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු මගින් වැව්වල ජල රඳවා ගැනීමේ ධාරිතාව සහ වාරි ජලය බෙදාහැරීමේ කාර්යක්ෂමතාව ඉහළ යන අතර, අධික වර්ෂාව, ගංවතුර මෙන්ම වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ වුවද අඛණ්ඩව යල-මහ දෙකන්නයේම වගා කටයුතු පවත්වාගෙන යාමට ගොවි ජනතාවට විශ්වාසදායක ජල සැපයුමක් තහවුරු කෙරේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ඉංජිනේරුවන් සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ ඍජු අධීක්ෂණය යටතේ, ප්‍රාදේශීය ගොවි සංවිධානවල ද සක්‍රීය සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක වේ.

(තොරතුරු – මාධ්‍ය ඒකකය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය)

Share.
Leave A Reply