වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හරහා මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට දැඩි ලෙස අතපෙවීමක් සිදුවන බවට චෝදනා කරමින්, එම පනත් කෙටුම්පතට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (අගෝස්තු 19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් (SC (SD) 35/2026) ගොනු කළේය.
නීතිඥ සචින්ත රන්දන පෙරේරා මහතා මාර්ගයෙන් ගොනු කරන ලද මෙම පෙත්සම මගින් වගඋත්තරකාර නීතිපතිවරයා වෙත බලකර සිටින්නේ යෝජිත සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නොවන බවයි.
විනිසුරුවන්ගේ ධුර කාලය අතීතයට බලපාන පරිදි වෙනස් කිරීමේ අනතුර
පෙත්සම්කරු පෙන්වා දෙන්නේ යෝජිත 22 වන සංශෝධනයේ 2 වන වගන්තිය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස හෝ ධුර කාලය අතීතයට බලපාන පරිදි (Retroactive effect) දීර්ඝ කිරීමට උත්සාහ කරන බවයි. යම් විනිශ්චයකාරවරයෙකු ධුරයට පත්වන අවස්ථාවේ පැවැති සේවා කොන්දේසි පසුව වෙනස් කිරීම මගින් අධිකරණයේ ස්වාධීන පැවැත්ම සහ තීන්දු තීරණ ගැනීමේ නිදහස පලුදු වන බව පෙත්සම මගින් අවධාරණය කෙරේ. ධුර කාලයේ සුරක්ෂිතභාවය බිඳවැටීම ජනතාවගේ පරමාධිපත්‍යයට එල්ල වන බරපතල තර්ජනයකි.
මහජන මතය විමසීමකින් තොරව සිදුකරන කුමන්ත්‍රණයක්
කිසිදු මහජන සංවාදයකින් හෝ සාකච්ඡාවකින් තොරව, සමස්ත රාජ්‍ය සේවයේම විශ්‍රාම වයස සංශෝධනය නොකර අධිකරණ ක්ෂේත්රය පමණක් ඉලක්ක කර ගනිමින් මෙම සංශෝධනය ගෙන ඒම අයුක්තිසහගත බව පෙත්සමේ සඳහන් වේ. මෙකී පියවර නිසා අධිකරණ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර බරපතල විෂමතාවයක් නිර්මාණය වන අතර, එමගින් ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කර ඇති ‘සමානත්වයේ අයිතිය’ දැඩි ලෙස උල්ලංඝනය වන බවද එහි දැක්වේ.
තුනෙන් දෙකක බලයෙන් පමණක් බෑ – ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 4, 12(1), 17 සහ 107 යන මූලික සහ වගන්ති රැසක් උල්ලංඝනය වන බැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර අනුමැතිය මෙන්ම රටේ ජනතාවගේ ජනමත විචාරණයක අනුමැතිය ද අනිවාර්ය බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
මෙම පනත් කෙටුම්පත අගෝස්තු 07 වන දින ගැසට් පත්‍රයේ පළ කර අගෝස්තු 18 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති අතර, ඊට අදාළ ඉදිරි නෛතික පියවර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතය.

