වැලිගම නවාතැනෙන් හම්බන්තොට යනවා කියා ආ දෙදෙනාගේ සිරුරු තිහගොඩින් හමු වෙයි!
ස්කූටිය සහ හෙල්මට් බෝ මළුව අසල! සියදිවි නසාගැනීමක්දැයි පොලිස් පරීක්ෂණ!
මාතර, තිහගොඩ, පලොල්පිටිය ප්‍රදේශයේ පිහිටි පූජනීය විහාරස්ථානයක බෝ මළුව ඉදිරිපිට කොහොඹ ගසක එල්ලෙමින් තිබූ විදේශීය සංචාරකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු 16 වනදා පස්වරුවේ සොයාගැනීමත් සමඟ ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන්තාවයක් සහ කැලඹීමක් හටගෙන තිබේ.
ආගමික කටයුතු සඳහා පස්වරුවේ විහාරස්ථානය වෙත පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් විසින් බෝ මළුව අසල කොහොඹ ගසේ එල්ලෙමින් තිබූ මෙම මළ සිරුරු දෙක ප්‍රථමයෙන් දැක ඇති අතර, ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වී තිහගොඩ පොලිස් ස්ථානය වෙත දැනුම් දී ඇත.
වැලිගම නවාතැනෙන් පිටවී ඇත්තේ හම්බන්තොට යන බව කියායි
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි වියේ පසු වූ ප්‍රංශ ජාතිකයෙකු සහ 52 හැවිරිදි වියේ පසු වූ ස්කොට්ලන්ත ජාතිකයෙකි. මොවුන් දෙදෙනා වැලිගම, මිදිගම, ගුරුබැබිල ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිට ඇති අතර, සිද්ධිය වූ දින උදෑසන තමන් හම්බන්තොට ප්‍රදේශය බලන්නට යන බව පවසා අදාළ නිකේතනයෙන් පිටව ගොස් තිබෙන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කුලියට ගත් ස්කූටිය සහ පාවහන් අසලම තිබී හමු වෙයි
සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කිරීමේදී ඒ ආසන්නයේ තිබී පාවහන් යුගලක්, යතුරුපැදි හිස්වැසුමක් (Helmet) සහ ස්කූටි (Scooty) වර්ගයේ යතුරුපැදියක් පොලිසිය භාරයට ගෙන තිබේ. අදාළ යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ ක්ෂණික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ එය වැලිගම ප්‍රදේශයේ ආයතනයකින් කුලී පදනම මත (Rent) මොවුන් විසින් ලබාගත් එකක් බවයි.
සියදිවි නසාගැනීමක්ද? පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
මෙම විදේශිකයන් දෙදෙනා සියදිවි නසාගෙන ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී සැක කෙරෙන නමුත්, විදේශ රටවල සිට පැමිණි සංචාරකයින් දෙදෙනෙකු මෙරට විහාරස්ථානයක බෝ මළුවක් තෝරාගෙන මෙවැනි අන්තගාමී තීරණයක් ගැනීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ සෘජු උපදෙස් පරිදි තිහගොඩ පොලිසියේ විශේෂ කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

