අවුරුදු 30ක් ආයු වළඳා දෙහිවල සිටි වයස්ගතම පීරාල් සත්වයා සමුගනී!
— වසර අවසන් වීමට පෙර නව පීරාල් යුගල දෙකක් දිවයිනට ගෙන ඒමේ සූදානමක්
ලංකා සත්වෝද්‍යාන ඉතිහාසයේ දීර්ඝතම ආයු කාලයක් භුක්ති විඳි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි වයස්ගතම ගැහැණු ‘පීරාල්’ සත්වයා (18) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට අවුරුදු 30කට ආසන්න වයසක පසු වූ මෙම පීරාල් සත්වයා, ස්වාභාවික වනාන්තර පරිසරයක ජීවත් වන පීරාල් සතුන්ගේ සාමාන්‍ය ආයු කාලය (වසර 20-25) ඉක්මවා යමින් සත්වෝද්‍යාන ඉතිහාසයට එක්වූ සුවිශේෂී සත්වයෙකි. සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයේ මනා පරිපාලනය, සුදුසු නිසි වාසස්ථාන, පෝෂ්‍යදායී ආහාර මෙන්ම සත්ව සුබසාධන හා පශු වෛද්‍ය අධීක්ෂණය හේතුවෙන් මෙලෙස දීර්ඝ කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට එම සත්වයාට හැකිව තිබේ.
හදිසි විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නොතිබූ අතර, වයස්ගත වීමත් සමඟ ඇති වූ ස්වාභාවික හේතූන් මත මෙම මරණය සිදු වී ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තහවුරු කරයි. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (19) දිනයේ සිදු කිරීමට නියමිතය.
සංචාරකයන්ට සුබ ආරංචියක්
මේ අතර, පීරාල් සත්වයාගේ අහිමි වීමත් සමඟ දෙහිවල සත්වෝද්‍යානය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
අන්තර්ජාතික සත්ව හුවමාරු වැඩසටහන යටතේ ජාන විවිධත්වය හා සත්ව සංරක්ෂණය තහවුරු කරමින්, මෙම වසර අවසන් වීමට පෙර නව පීරාල් සතුන් යුගල දෙකක් (සතුන් 4 දෙනෙකු) විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සියලු කටයුතු යොදා ඇති බව අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්. රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

