“දූෂණය පිටුදැකීමට තොරතුරු දුන් නිලධාරියාගෙන් පලිගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. හෙට සිට දිවයින පුරා සිටින 2300ක් වූ අපගේ නිලධාරීන් මෙම අසාධාරණයට එරෙහිව සටනට බසිනවා.”
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය වැඩබලන සභාපති උපුල් රෝහණ
ගුවන් තොටුපළ සෞඛ්‍ය කාර්යාලය තුළ සිදුවන මහා පරිමාණ දූෂණ සහ වංචා අනාවරණය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක B.H. මීගස්දෙනිය මහතාට එරෙහිව සිදුකර ඇති අයුක්තිසහගත ස්ථාන මාරුවට එරෙහිව, දිවයින පුරා විසිරී සිටින 2300ක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට සිට දීපව්‍යාප්ත ප්‍රබල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් අදාළ දූෂණ හෙළිදරව් කළ නිලධාරියා සම්බන්ධයෙන් පරිපාලන රීති පටහැනිව සහ සදාචාර විරෝධී ලෙස ක්‍රියා කර ඇති බවට චෝදනා එල්ල වේ. අදාළ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පසෙකලා, තොරතුරු අනාවරණය කළ “පණිවුඩකරු දඩයම් කිරීම” නව රජයේ ප්‍රතිපත්තිවලට පවා පටහැනි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පෙන්වා දෙයි.
මෙම අයුක්තිසහගත ක්‍රියාමාර්ගයට එරෙහිව අද රාත්‍රියේ රැස්වන සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, හෙට සිට ක්‍රියාත්මක වන දීපව්‍යාප්ත වෘත්තීය සමිති සටන් පාඨ සහ ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය.
මෙම හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා ක්ෂේත්‍ර සෞඛ්‍ය සේවා, ආහාර සහ ඖෂධ පරීක්ෂණ මෙන්ම ඩෙංගු මර්දන කටයුතු ඇතුළු මහජන සෞඛ්‍ය සේවාවන් රැසක් සම්පූර්ණයෙන්ම අඩපණ වීමේ අවදානමක් මතුව තිබේ.

