ලෝක උරුමයක් වන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය හරහා කිලෝමීටර 10 ක අලුත් මාර්ගයක් ඉදිකිරීමට ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එම්. සුගත් අමරසිරි බණ්ඩාර සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහත්වරුන් කළ යෝජනාවකට අනුව නැවතත් සූදානම් වන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ප්‍රකාශක සජීව චාමිකර පවසයි.

ගලගම සිට නැග්රැක් හරහා වැටෙන මෙම මාර්ගය නිසා රත්තනගොල්ල, ශ්‍රී පාද අඩවිය, සමනල අඩවිය සහ හෝර්ටන් තැන්න යන අතිසංවේදී රක්ෂිත හතරක් ඛණ්ඩනය වන බවද හෙතෙම කීය.

මේ නිසා මුහුදු මට්ටමේ සිට මීටර් 1800-2395 දක්වා උසින් පිහිටි, හෙක්ටයාර 3159.8 ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම වලාකුළු වනාන්තර පද්ධතිය අහිමි වීමෙන් ජෛව උරුමයක් විනාශ වීමේ තර්ජනයට ලක්විය හැකි යැයි ද ඔහු කීය.

මෙහි වාර්තා වන සපුෂ්ප ශාක 437 න් 112 ක් ද, ක්ෂීරපායින් 27 න් 7 ක් ද, උභයජීවීන් 20 න් 19 ක් ද, උරගයින් 10 න් 9 ක් ද, පක්ෂීන් 82 න් 13 ක් ද ලංකාවට ආවේණික වේ. එමෙන්ම වසර 110 කට පසුව නැවත හමු වූ සමනල විශේෂය ඇතුළු සමනලයන් 57 ක් සහ ලෝකයෙන්ම හෝර්ටන් තැන්නට පමණක් ආවේණික මිරිදිය ඉස්සා ඇතුළු ජීවීන් රැසක් මේ හරහා විනාශවන බවද ඔහු සඳහන් කළේය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 6(1) වගන්තිය උල්ලංඝනය කරමින් සිදු කෙරෙන මෙම නීති විරෝධී සැලසුම වහාම අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.

Share.
Leave A Reply