කොමියුනිස්ට් පක්ෂයෙන් ජනාධිපති අනුරට සැර ලිපියක්!

මේ අවුරුද්දේ විතරක් ඉන්දීය ධීවරයෝ 150ක් අල්ලලා – නාවික හමුදාවෙන් හෙළිදරව්වක්!

උතුරු මුහුදු තීරයට අයථා ලෙස ඇතුළු වන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මගින් යාපනය දිස්ත්‍රික්කයේ පාරම්පරික ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට එල්ල කර ඇති දැඩි තර්ජනය වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත හදිසි ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 83 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් යාපනයේ ධීවර ප්‍රජාව හමුවී පවත්වන ලද විශේෂ සුහද හමුවෙන් අනතුරුව, පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇත.

උතුරේ අයිතිය අහෝසි කරන ඉන්දීය ආක්‍රමණය

උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කරන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මගින් මහා පරිමාණයෙන් මසුන් අල්ලාගෙන යාම නිසා උතුරේ පාරම්පරික ධීවරයන්ගේ සාගර අයිතිය සහ ජීවනෝපාය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව අදාළ ලිපිය මගින් පෙන්වා දී තිබේ. මෙම නීති විරෝධී ක්‍රියාවන් වහා තහනම් කිරීමට රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම අත්‍යවශ්‍ය බව පක්ෂය අවධාරණය කරයි.

2026 දී විතරක් 150ක් කොටුවෙයි!

මේ අතර, ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනිසි ලෙස ඇතුළු වන ඉන්දීය ධීවරයන් වැටලීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් අප නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ චමින්ද වලාකුළුගේ මහතාගෙන් විමසීමක් කළෙමු.

අදහස් දැක්වූ මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 150 කට අධික පිරිසක් සහ යාත්‍රා 24 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා සම්බන්ධයෙන් ඉදිරි තදින්ම නීතිමය පියවර ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply