අධිකරණයේ ස්වාධීනත්වයට අත තියන්න එපා: ආණ්ඩුවේ තීරණයට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධයක්!

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට සැර අනතුරු ඇඟවීමක්

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන යන රහසිගත සූදානම හරහා මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහමුලින්ම විනාශ වීමේ බරපතල අවදානමක් මතුව ඇති බව සමගි ජන බලවේගය අනාවරණය කරයි. අද (12) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පෙන්වා දුන්නේ මෙම පියවර රට මහත් අනතුරක හෙළන එකක් බවයි.

සමස්ත රටේම අවධානය යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෙසේ ද කීය.

වංචා-දූෂණ වසා ගැනීමට අධිකරණය දේශපාලනීකරණය කිරීමේ කුමන්ත්‍රණයක්!

“මෙය නඩු ප්‍රමාදයට විසඳුමක් නෙවෙයි; ආණ්ඩුවේ හිතවතුන් රැකගෙන විරුද්ධවාදීන්ගෙන් පලිගන්න හදපු අසූචි කෙළියක්!”

ආණ්ඩුව තුළ දිනෙන් දින ඉහළ යන මහා පරිමාණ වංචා, දූෂණ සහ හොරකම් වසා ගැනීමටත්, තම බලය තවදුරටත් තහවුරු කර ගැනීමටත් අධිකරණ පද්ධතිය දේශපාලන මෙවලමක් කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවට මන්ත්‍රීවරයා සෘජුවම චෝදනා කරයි.

මහානායක හිමියන් සහ ජාත්‍යන්තරය එකපෙළට විරෝධයේ!

“මහානායක හිමිවරුන්ගේ ලිපිය පවා හංගන්න හදපු ආණ්ඩුව අද නිරුවත් වෙලා!”

මෙම ක්‍රියාවලියට එරෙහිව සියලුම ආගමික නායකයන් ඇතුළු ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිඛිතවම විරෝධය පළ කර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා විනිසුරුවන්ගේ සංගමය, කොළඹ මහධිකරණ විනිසුරුවරුන්, ලෝ-ඒෂියා (LAWASIA) සහ අන්තර්ජාතික විනිසුරුවන්ගේ සංගමය ඇතුළු ජාත්‍යන්තර බලවේග රැසක් මේ වන විටත් මෙයට එරෙහිව දැවැන්ත විරෝධයක් ගොඩනගමින් සිටී.

ජනමත විචාරණයකට යන්න ආණ්ඩුව බයේ පණ දුවනවා!

“ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් ජනතාවගෙන් අහන්න – ආණ්ඩුව ඒකට පණ බයේ ඉන්නේ!”

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ලෙස බලපාන මෙවැනි සංශෝධනයක් ගෙන ඒමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතුය. නමුත් ජනතාව ඉදිරියේ පරාජයට පත්වීමේ දැඩි බිය නිසා ආණ්ඩුව ජනමත විචාරණයකට යාම හිතාමතාම මඟහරිමින් සිටින බව හෙළිදරව් විය.

වසර 72ක ඉතිහාසයේ සිදුවන විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී විනාශය!

“මීට පෙර සිටි කිසිදු ජනාධිපතිවරයෙක් අධිකරණයට මෙහෙම බලපෑම් කළේ නැහැ!”

මෙම සංශෝධනය හරහා අධිකරණය මගින් ඉටුවන යුක්තිය පිළිබඳ මහජන විශ්වාසය සහමුලින්ම බිඳ වැටෙන අතර, මෙය වසර 72ක ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ සිදුවන විශාලතම රාජ්‍ය නීති විනාශය බවත්, මෙයින් සිදුවන පාඩුව ගෙවීමට සිදුවන්නේ රටේ අහිංසක ජනතාවට බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙමගින් අධිකරණ ක්ෂේත්‍රයේ පමණක් නොව සමස්ත පරිපාලන පද්ධතියේම පදනම දෙදරන බැවින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ගමනටද තර්ජනයක් වන මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධනය වහාම හකුලා ගන්නා ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවට අවසන් ලෙස බලකර සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

Share.
Leave A Reply