කොළඹ: මෙරට සියලු බන්ධනාගාර පද්ධතිය තුළ ආරක්ෂාව තහවුරු කරමින් රැඳවියන්ගේ සුභසාධනය සහ ගැටලු විසඳීම වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රබල ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය කෙරිණි.

අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී දිවයින පුරා පිහිටි බන්ධනාගාර 33හිම පවතින තත්ත්වය සහ රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් විය.

ඉදිරි සතියේදී ක්‍රියාත්මක වන නව වැඩපිළිවෙළ

රැඳවියන් මුහුණ දී සිටින ගැටලු, ඔවුන්ගේ සුභසාධන කටයුතු මෙන්ම හදිසි අවස්ථාවකදී කඩිනමින් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සොයා බැලීම මෙම නව යාන්ත්‍රණයේ ප්‍රධාන අරමුණයි.

ඉදිරි සතියේදී ස්ථාපිත කිරීමට නියමිත මෙම බලගතු ඒකාබද්ධ යාන්ත්‍රණය සඳහා පහත අංශ නියෝජනය වන පරිදි නිලධාරීන් ඇතුළත් කෙරේ:

  • බන්ධනාගාර දෙපාර්තමේන්තුව
  • ශ්‍රී ලංකා පොලීසිය
  • පොලිස් විශේෂ කාර්ය බලකාය (STF)
  • අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව

මෙම ඒකාබද්ධ කණ්ඩායම ඉදිරියේදී බන්ධනාගාර රැඳවියන් සමඟද සෘජුවම සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සෙවීමට කටයුතු කරනු ඇත.

ආරක්ෂක සහ අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරීන්ගේ සහභාගීත්වය

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා ප්‍රබල අමාත්‍යවරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු රැසක් එක්ව සිටියහ.

ඒ අතර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ බුද්ධි අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද වූහ.

Share.
Leave A Reply