දූෂිතයන්ට රතු එළියක්! දූෂණ විරෝධී පනතට දැඩි නව සංශෝධන රැසක්
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත තවදුරටත් බලගන්වමින් රජය විසින් අලුත්ම සංශෝධන මාලාවක් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. දූෂණයට වැටබැඳීම, දඩ මුදල් ඉහළ නැංවීම සහ ඇප ලබාදීම දැඩි කිරීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණයි.
නව සංශෝධන මගින් සිදුවන ප්‍රධාන වෙනස්කම් 4 මෙන්න:
හොරකම් කළොත් 3 ගුණයක් ගෙවන්න වෙනවා! (දඩ මුදල් ඉහළට)
දූෂණ ක්‍රියාවකින් උපයාගත් දේපළක් සම්බන්ධයෙන් වරදකරු වුවහොත්, එම දේපළේ වටිනාකම මෙන් 3 ගුණයක අතිරේක දඩයක් අය කිරීම අධිකරණයට අනිවාර්ය වේ.
දූෂණය නිසා රජයට සිදුවූ සම්පූර්ණ මූල්‍යමය අලාභයම දඩයක් ලෙස නැවත අය කරගැනීමට ප්‍රතිපාදන සලසා ඇත.
ඇප ගැනීම ලේසි නැහැ! (මහේස්ත්‍රාත් ඇප බලතල සීමා වෙයි)
රු. 100,000 ට වැඩි අල්ලස් ලබාගැනීම්/දීම් සහ රු. 500,000 ට වැඩි රජයේ පාඩු සිදුකිරීම් සම්බන්ධ සැකකරුවන්ට ඇප දිය හැක්කේ මහාධිකරණයට පමණි (එයද සුවිශේෂී කරුණු මත පමණි).
වත්කම් ප්රකාශනවල පෞද්ගලික දත්ත ආරක්ෂාවට නව නීති
ජාතික හැඳුනුම්පත්, පාස්පෝට් අංක ඇතුළු හඳුනාගැනීමේ අංක වත්කම් ප්‍රකාශනවලින් ඉවත් කෙරේ.
ප්‍රසිද්ධ කළ වත්කම් ප්රකාශනයක් වෙනත් කාර්යයන් සඳහා අවභාවිත කළහොත් රු. ලක්ෂයක දඩයක් හෝ වසරක සිරදඬුවමක් හිමිවේ.
මාස 6 කට වඩා එකට වාසය කරන පුද්ගලයන්ගේ වත්කම් හෙළි කිරීමේ වගන්තිය ඉවත් කර ඇත.
රාජ්‍ය නිලධාරී අර්ථ නිරූපණය වෙනස් වෙයි (50% සීමාව)
මීට පෙර රජයට 25% ක කොටස් තිබූ සමාගම් මෙම පනතට යටත් වුවද, දැන් එම සීමාව 50% දක්වා ඉහළ නංවා ඇත.
ඒ අනුව, රජයේ කොටස් 50% ට අඩු සමාගම්වල අධ්යක්ෂවරුන් හෝ සේවකයන් මින් ඉදිරියට මෙම පනත යටතේ “රාජ්‍ය නිලධාරීන්” ලෙස සලකනු නොලැබේ.
තොරතුරු සැපයීම: 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ නව සංශෝධිත ගැසට් නිවේදනය ඇසුරිනි.

