ආර්.එස්.පී. යූ.එස්.පී. එන්.පී.එස්. පී.එස්.සී. පත් කෙරේ
සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්.එස්.පී. යූ.එස්.පී. එන්.පී.එස්. පී.එස්.සී. ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වන යුද හමුදාපති ලෙස පත් කරනු ලැබ තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (31) පස්වරුවේ ඒ මහතා වෙත භාරදෙන ලදී.
අගෝස්තු මස 01 වනදා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර, වත්මන් යුද හමුදාපති ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද (31) සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.
මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි සිසුවකු වන ප්‍රේමරත්න මහතා, 1990 වසරේ ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් විය. 1992 වසරේදී දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ මූලික යුද පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වූ අතර, පසුව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි.
ඒ මහතා ඇමරිකානු එක්සත් ජනපද කැලිෆෝනියාවේ නාවික පශ්චාත් උපාධි පාසලෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද (M.Def.S) හිමි කරගෙන තිබේ.
වසර 36ක විශිෂ්ට යුද හමුදා සේවා දිවිය තුළ දෙස් විදෙස් විවිධ වෘත්තීය සහ විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති ප්‍රේමරත්න මහතා, මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතභාවය වෙනුවෙන් රණශූර පදක්කම දෙවරක් ද, යුද හමුදා දිවිය තුළ දැක්වූ විශිෂ්ටත්වය අගයමින් උත්තම සේවා පදක්කම ද හිමි කර ගෙන ඇත.

