දූෂණ විරෝධී පනතේ වගන්ති 5ක් උල්ලංඝනය කරමින් කළ කුමන්ත්‍රණයට එරෙහිව අල්ලස් කොමිසමට දයාසිරි ජයසේකර යයි!
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ සෘජුවම බරපතළ “අල්ලස් ලබාදීමක් සහ දූෂණයකට අනුබල දීමක්” බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
මෙම නීතිවිරෝධී සහ ව්‍යවස්ථාපිත නීතිය පාගා දමන කැබිනට් තීරණය වහාම බලරහිත කර, ඊට හවුල් වූ අමාත්‍ය මණ්ඩලයට සහ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
වගන්ති 5ක් කුඩුපට්ටම්!
ඉදිරිපත් කර ඇති දත්ත හා නීතිමය පදනම් තහවුරු කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ දූෂණ විරෝධී පනතේ පහත සඳහන් ප්‍රධාන වගන්ති මෙහිදී ප්‍රකාශිතවම උල්ලංඝනය වී ඇති බවයි:
93 වන වගන්තිය (අධිකරණ නිලධාරීන්ට අල්ලස් දීම): විනිසුරුවරුන්ට තවත් වසර 2ක ධුර කාලයක් ලබාදීම යනු අධිකරණමය තීන්දු තීරණ වෙනස් කරගැනීමේ අරමුණින් රජය විසින් පිරිනමන සෘජු “ප්‍රතිලාභයක්” හෝ “ත්‍යාගයකි”.
100 වන වගන්තිය (රජයේ අනුග්‍රහ ලබාදීම): රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් රජයේ වාසි හෝ ප්‍රතිලාභ අයුතු ලෙස ප්‍රවර්ධනය කිරීම.
104 වන වගන්තිය (බලපෑම් කිරීමේ අරමුණින් අල්ලස් දීම): විධායකය විසින් අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීම සඳහා මෙම අනුග්‍රහය ලබාදීමට තැත් කිරීම.
111 වන වගන්තිය (රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණය): කැබිනට් මණ්ඩලය රාජ්‍ය නිලධාරීන් ලෙස කටයුතු කරමින් අධිකරණයට නීතිවිරෝධී වාසියක් සැලසීමට තීරණය කිරීම.
113 වන වගන්තිය (සැක කටයුතු අයුතු ප්‍රතිලාභ): බලපෑමක් කිරීමේ චේතනාවෙන් ප්‍රතිලාභ පිරිනැමීම අල්ලස් වරදක් ලෙස සැලකීම.
නඩු ගොඩගැසී ඇත්තේ ඉහළින් නෙවෙයි – පහළින්!
විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීම අධිකරණයේ නඩු ප්‍රමාදයට විසඳුමක් බවට රජය මවන මතය මුලුමනින්ම අසත්‍ය දත්ත මත පදනම් වූවක් බව පෙන්වා දෙන දයාසිරි ජයසේකර මහතා, මෙරට ප්‍රධාන නඩු ගොඩගැසීම පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ නොව මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණවල බව අවධාරණය කළේය.
“මෙය නඩු ප්‍රමාදය නැති කරන්න හදපු එකක් නෙවෙයි. ඉදිරියේදී ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ නඩුවලට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට තමන්ට අවශ්‍ය විදියට තීන්දු ගන්න අධිකරණයට දුන්න අල්ලසක්. යම් හෙයකින් මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ආවොත්, ඒකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ජනතාවට සිද්ධ වෙනවා. එතකොට තමන්ගේ විශ්‍රාම යෑමේ වයස තීරණය කරන නඩුව තමන් විසින්ම අහන්න විනිසුරුවරුන්ට සිදුවන බරපතළ පරස්පර විරෝධී තත්ත්වයක් (Conflict of Interest) මෙතැන නිර්මාණය වෙනවා,” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.
ඉල්ලා සිටින සහන 5
අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කළ පෙත්සම මගින් පහත සඳහන් මූලික ඉල්ලීම් අල්ලස් කොමිසම හමුවේ තබා ඇත:
පනතේ 42 වන වගන්තිය යටතේ මූලික පරීක්ෂණයක් (Prima Facie) වහාම ආරම්භ කිරීම.
අමාත්‍ය මණ්ඩල තීරණ, ලේඛන සහ අදාළ නිලධාරීන් ගෙන්වා සම්පූර්ණ විමර්ශනයක් කිරීම.
111 වන වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව දූෂණ චෝදනා මත නඩු පැවරීම.
අධිකරණ අමාත්‍යාංශයේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම.
විමර්ශන අවසන් වන තෙක් මෙම සංශෝධනය ඉදිරියට ගෙන යාම අත්හිටුවීමට රජයට නියෝග කිරීම.
අධිකරණයේ ස්වාධීනත්වයත්, ව්‍යවස්ථාවේ බලතල බෙදීමේ මූලධර්මයත් මුදලින් හෝ වරප්‍රසාදවලින් තක්සේරු කිරීමට විධායකයට ඉඩ නොදෙන බවත්, මෙම ජාතික වැදගත්කමකින් යුත් කරුණ හමුවේ අල්ලස් කොමිසම ස්වාධීනව ක්‍රියා කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

