සේවක අර්ථසාධක සහ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල සතු කම්කරුවන්ගේ රුපියල් ලක්ෂ 55,000,000 ක් (ලක්ෂ පන්සිය පනස් දහසක්) අරමුදල් ආණ්ඩුවට අත්පත් කරගැනීමේ රහසිගත සැළසුමක් ක්‍රියාත්මක වන බව වෘත්තීය සමිති හා වෘත්තීකයන්ගේ ජාතික සම්මේලනයේ සම කැදවුම් කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.
ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයන්ගේ මෙම අරමුදල් ඒකාබද්ධ කර ආණ්ඩුවේ පාලනයට ගැනීමට සූදානම් වන බවට ද හෙතෙම සඳහන් කළේ ය.
මෙම අරමුදල් කම්කරුවන් ලක්ෂ 25කගෙන් විමසීමකින් තොරව මාස 3ක් ඇතුළත පනතක් ලෙස සම්මත කිරීමට කමිටුවක් පත්කර ඇති බවද ඔහු කීය.
මෙම මුදල් ආණ්ඩුවේ පාලනයට ගැනීමේ යෝජනාවෙන් කම්කරු අරමුදල් අවදානමකට ලක්වන බවත් ශ්‍රමිකයන්ගේ මුදල් අත්තනෝමතික ලෙස යොදාගැනීමට සූදානම් වන මෙම පනත, කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා නොකර මාස 2ක් ඇතුළත සම්මත කිරීමට සැළසුම් කර ඇති බැවින් ඊට එරෙහිව කටයුත කරන බවද ඔහු කීය.
පත්කිරීමට නියමිත මණ්ඩලය ත්‍රෛපාර්ශ්වික නියෝජනයක් සහිත එකක් බව රජය ප්‍රකාශ කළද, ප්‍රායෝගිකව එහි නියෝජනය වන්නේ ආණ්ඩුවේ හිතවතුන් පමණක් බවත්, මෙය හුදෙක් රජයේ නියෝජිතයන්ගෙන් පමණක් පිරුණු මණ්ඩලයක් වන බවත් හෙතෙම කීය.
මහා භාණ්ඩාගාරය ඇතුළු රාජ්‍ය ආයතන තුළ සිදුවන මූල්‍ය වංචා, දූෂණ සහ දුර්වල පාලනය හමුවේ කම්කරුවන්ගේ මෙම දේපළ නීත්‍යානුකූලව අත්පත් කරගැනීමට පාර කැපීම බරපතල අනතුරක් බව ද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය,ජාත්‍යන්තර වෘත්තීය සමිති බලමණ්ඩලයට ද දැනුවත් කරන බවත් රටපුරා කම්කරු සංවිධාන දැනුවත් කරමින් රජයට විරුද්ධව දැවැන්ත අරගලයක් දියත් කරන බව ද සමන් රත්නප්‍රිය මහතා කීය.

