හුණ්ඩුවේ “මහගෙදර” නාඩගම සහ සිග්නල් කණුවේ පදිංචිකාරයෝ

හිටපු – නොහිටපු මැති-ඇමතිතුමන්ලාගේ සමහර කතාන්දර අහන, බලන අපට දියවන්නාව පැත්තේ මැවෙන අමුතුම නාඩගම් ගැන හිතාගන්නට බැරිකමක් නැත. “හුණ්ඩුවේ මහගෙදර දේශපාලනය” කියන්නේ ඕනෑම කෙනෙකුට නිදහසේ සිතන පතන දේ පිට කරන්නට විවෘත වුණු අලුත්ම වේදිකාවකටය.

“කොළඹ දෙසට තනි සිග්නල් කණුවේ පදිංචිකාරයෝ” මේ රටට ‘හුණ්ඩුව’ කීවේ රටේ භූගෝලීය ප්‍රමාණය පුංචි නිසාද මන්දා? හැබැයි “මහගෙදර” කීවේ නම් වෙන කොහේවත් නොව අපේ පාර්ලිමේන්තුවටය! මේ වචන දෙක එකට තියා බලන විට මැවෙන්නේ මාරම අදහසකි. තනි සිග්නල් කණුවේ පදිංචිකාරයාටත් ඒකට සතුටු හිතුණාට සැකයක් නැත.

වෙන රටවල් නෙවෙයි, මේ රට හුණ්ඩුවක්ය කීවේ අපේ සහෝදර මහ එකාමය. අම්මපා, පාර්ලිමේන්තුව ඉතින් මේ රටේ තියෙන ලොකුම මන්දිරය වෙන්නටම ඕනේය. ඉතින් ඒකට “මහගෙදර” කීවාට කිසිම වරදක් නැත.

සමා වෙන්න ඕනේ… මම මෙහෙම කොළම ලියාගෙන යනකොටම ඔන්න දකුණේ ජනප්‍රියම මනාප ලාභියා වෙන චන්න සාලිය මහත්තයා කතා කරන්නට පටන් ගත්තේය. ඒ කතාව නිකන් කන්ථක අශ්වයා සමඟ රේස් දුවනවා වැනි වේගවත් එකකි!

“මක්කැයි මේ දොඩන්නේ…” කියා බලන්නට මට හිතුණේ ඒ නිසාය. දකුණු පළාතේ ප්‍රාදේශීය උප-භාෂා සංස්කෘතියේ තියෙන ඒ අපූරු රිද්මයත් එක්ක දියවන්නාවේ දේශපාලන රංගපීඨය දෙස බලන විට, මේ නාඩගම තවත් රසවත් වන බව නම් සහතිකය!

රතුඉර-

හිටිහැටියේ ජනපති වුණොත්… මුලින්ම දාන අනිවාර්ය නීතිය මොකක්ද?

චන්න සාලිය – හිටපු ඇමැති මණ්ඩලයේ ගිණුමුයි වත්කම්වලයි අඩුවැඩිය හොයන්න ඔක්කොම නිවාස අඩස්සියට ගන්නවා!

අපායේ යමරජු වුණොත්… ප්‍රශ්නය: ප්‍රබල ඇමැතිට දෙන දඬුවම?

චන්න සාලිය =

කන් හැන්දක් දීලා ලෝදිය හැලිය හිස් කරන්න කියනවා! කටු ඉඹුල කරේ තියාගෙන අපාය වටේ දුවන්න තමා තියෙන්නේ!

රතුඉර –

සුරලොව සක්‍ර දෙවිඳුන් වුණොත්… මෙහෙට එන ඇමැතිට දෙන වැඩේ?

චන්න සාලිය –

පාසල්, උපාධි සහතික සේරම චෙක් කරනවා! පැයෙන් පැයට තනි කකුලෙන් ඉඳන් හූ කියන්න දඬුවම් දෙනවා.

රතුඉර –

නොපෙනී යන බලය ලැබුණොත්.රිංගන්නේ කාගේ ගෙදරටද?

චන්න සාලිය-

ජනපතිගේ ගෙදරටයි, අගමැතිනියගේ ගෙදරටයි! මොන ඇමැතිද හැක් කරලා සල්ලි වංචා කළේ කියලා හොයාගන්නවා.

රතුඉර-

ආණ්ඩුවට විරුද්ධව දැකපු හීනය.හීන 10න් හෙළිවුණ පලාපල මොනවාද?

චන්න සාලිය –

ඊළඟ ඡන්දෙන් 225ම මාලිමාවෙන් දිනලා! විපක්ෂයේ එකෙක් නෑ… ආණ්ඩුවට විරුද්ධව ගහපු ඡන්දත් වැටිලා තියෙන්නේ ආණ්ඩුවටමයි!

රතුඉර-

කාල යන්ත්‍රයෙන් අතීතයට.යන්නේ කීවෙනි අවුරුද්දටද?

චන්න සාලිය –

ජනාධිපතිවරණයයි මහ මැතිවරණයයි තිබ්බ අවුරුද්දට! එදා කියපුවයි අද කියපුවයි සසඳලා හිනාවෙන්නද අඬන්නද කියලා බලනවා.

රතුඉර –

සත්‍යය විතරක් කියවෙන මයික්‍රෆෝනය.එළියට පනින පළමු ඇත්ත?

චන්න සාලිය –

“පළාත් සභා තියන්නේ නෑ! අපේ උනුත් හොරකම් කරන නිසා හොරු ඇල්ලීම තාවකාලිකව නැවැත්තුවා, අපිට වැඩ බෑ!” කියන එක!

රතුඉර-

බඩු මිල බස්සන මැජික් එක! ඇමැතිවරුන්ගේ බිස්නස්වලට වෙන දේ?

චන්න සාලිය –

ඇමැතිලාගේ බිස්නස්වල ලාභ කොටස් ජනතාවගේ බැංකු ගිණුම්වලට ඉබේම වැටෙන විදියේ “බැංකු ජිල්මාට් ඇප් එකක්” හදනවා!

රතුඉර –

විසෝධක (Delete) බොත්තම. මන්ත්‍රී පිස්සු කියවද්දී දාන සද්දේ?

චන්න සාලිය –

“අද මුළු රට එක මිටකට, සුභ නැකතට රට අනුරට, IMF සරණට, ණය බරින් රට තව ණය කර…” කියන සින්දුව ප්ලේ කරනවා!

රතුඉර- 

අවුරුදු 5කට පසු අතීත මතකය! පවත්වන මාධ්‍ය හමුවේදී කියන කතාව?

චන්න සාලිය –

“ඩේසි ආච්චිගේ මැණික් මල්ලයි උගන්ඩාවේ නැව් පිටින් තිබ්බ සල්ලියි හොයාගත්තේ ඒ ආණ්ඩුව තමා!” කියලා මතක් කරලා දෙනවා.   

හා චන්න සාලිය මන්ත්‍රී තුමා ඔයාගෙන් කන්ථක අශ්වයා ගැනත් ප්‍රශ්න අහන්න තියනවා. කොයිහැටි වෙතත්  කෝ ගල්ලෙන් කතා කරනවා නෑ අනේ කෑ ගල්ලෙන්.සමගි ජන බලවේගයේ කෑගල්ල ආසන ප්‍රධාන සංවිධායක ප්‍රියංක සේනානායක

රතුඉර –

ප්‍රියංක මහත්තයෝ, ඔබට එක රැයකින් “සතුන් සමඟ කතා කිරීමේ” මැජික් බලයක් ලැබුණොත්, පාර්ලිමේන්තුව පැත්තේ ඉන්න “දේශපාලන අලි සහ බූරුවන්ගෙන්” මුලින්ම අහන රහස් ප්‍රශ්නය මොකක්ද?

ප්‍රියංක සේනානායක:

“අපොයි! මම මුලින්ම ඒ සතුන්ගෙන් අහන එක. ‘අනේ යාලුවනේ, මේ ආණ්ඩුව ඡන්ද කාලේ දීපු එක පොරොන්දුවක්වත් ඉටු කළේ නෑ නේද?’   පාර්ලිමේන්තුවේ රියදුරන්ට බූරුවා කියලා අපේ නම් දැම්මාට අපි විරුද්ධයි කියලා. ඇයි පාන් ගැන අහලා පාන් පිටිවල හිටපු ගුල්ලන්ව පවා අවතක්සේරු කළානේ! රිලවුන්ට වෙනම දූපත් දීලා අපිව කොර කරා. ආණ්ඩුවට දැන් ජනතාව බල්ලට වගේ බනිද්දී, අපිට තියෙන එකම දුක අපේ නම මුලට දාලා බනින එක විතරයි!” (සිනාසෙයි)

රතුඉර –

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් ඔබ ළඟට ඇවිත් “ජනාධිපති වෙන්න පූජාවක් තියලා දෙන්න” කිව්වොත් ඔබ මොකද කරන්නේ?

ප්‍රියංක සේනානායක:

“මම කියනවා. ‘සහෝදරයා… ඔලුව උඩ තියාගෙන ඉන්න සහෝදර ආණ්ඩුවේ කාටවත් මින් පස්සේ මේ රටේ ජනපති වෙන්න ජනතාව ඉඩ තියන්නේ නෑ! ඒ නිසා කෙම්මුර දවසක ඇවිත් පේනයක් බලලා, ඉතුරු ටික අහගෙන ගෙදර යන්න’ කියලා!”

රතුඉර –

ආණ්ඩුවේ ප්‍රධානියෙක් රෑට දකින බියකරු හීන සේරම පහුවෙනිදා උදේට Facebook Live එකෙන් මුළු රටටම පෙනෙන ක්‍රමයක් හැදුවොත්, මුලින්ම එළියට එන අමුතුම හීනය මොකක්ද?

ප්‍රියංක සේනානායක:

“වෙන මොකක්ද ඉතින්… අර ‘රාජපක්ෂලා උගන්ඩාවේ සල්ලි හැංගුවා’ කියලා කියපු කතාව වගේ, එළිවෙනකන් උගන්ඩාවේ සල්ලි හොයන බියකරු හීනය තමයි ලයිව් එකෙන් මුලින්ම පෙනෙන්නේ!”

රතුඉර –

පාර්ලිමේන්තු කැන්ටින් එකේ ප්ලේන්ටියට “සත්‍යය කථා කරන බෙහෙතක්” දැම්මොත්, මන්ත්‍රීවරු එකිනෙකාට කියන පට්ටපල් ඇත්ත මොකක්ද?

ප්‍රියංක සේනානායක:

“අප්පා… මාර හුටප්පරයක් වෙන්නේ! උන් ප්ලේන්ටිය බොන ගමන් කියයි, ‘මන්ත්‍රීතුමෝ, අපි බලයට එද්දී කියපු බොරු ජනතාවට තාම තේරුණේ නෑ නේද? හැබැයි මේවා දැනගත්තොත් අපිට මැතිවරණ කොට්ඨාසයට තියා පාරේ යන්නත් බැරි වෙනවා! අපිට රට හරියට කරන්න බෑ කියලා අපිටම තේරිලා ඉවරයි. මහ ලොකුවට ආණ්ඩුව ගත්තට අපිට කරන්න හැකි කන්ගෙඩියක් හෝ ඉටුගෙඩියක් හෝ කැකිරි ගෙඩියක් නෑ අයිසේ!’ කියලා.”

රතුඉර-

කාල යන්ත්‍රයෙන් තව අවුරුදු 10ක් අනාගතයට ගිහින් බලද්දී, වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු කරමින් ඉන්න අමුතුම රක්ෂාව මොකක්ද?

ප්‍රියංක සේනානායක:

“සමහරුන්ට රටේ ඉන්න බැරි වෙලා පිටරට පැනලා ඉඳියි! මේ ඇත්තෝ අනාගතයේදී කරන්නේ ‘බොරු පැකට් කරලා විකිණීම’, ‘සුරංගනා බයිලා කීම’ සහ ‘කෙකි වලින් වළාකුළු තල්ලු කිරීමේ බිස්නස් එක’ තමයි! තවත් සමහරු ලංකාවේ අයට විතරක් නෙවෙයි පිටරට බැංකුවලටත් ණය පොලිය දෙන මහා ගිනි පොළිකාරයෝ වෙලා ඉඳියි!”

රතුඉර –

නාසා එකෙන් ලංකාවේ එක් ඇමැතිවරයෙක්ව විතරක් හඳට යවන්න තීරණය කළොත් ඔබ එක පයින්ම රොකට් එකට පටවන්නේ කාවද?

ප්‍රියංක සේනානායක:

ආණ්ඩුවේ මැති ඇමතිවරු නම් මේකට දාන්න විශාල පිරිසක් ඉන්නවා. හැබැයි ඉතිං “මහා මාර්ග ඇමැති බිමල් රත්නායක මහත්තයාව තමයි! මොකද එතුමා හඳේ වුණත් පාරවල් හදන්න හැකි දක්ෂ ඇමැතිතුමානේ! අනික එතුමා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය කොහොමත් ආණ්ඩුව ගෙදර යවන පාර දැන් ඉඳලම හදන එක දැක්කම අපිට මාර සතුටුයි!”

රතුඉර –

රටේ සියලුම වැරදි නැතිවෙන මැජික් පෑනෙන් අත්සන ගහන්න ඕනේ ඇමැතිවරයෙකුගේ පිට උඩ තියලා නම්, ඔබ තෝරගන්නේ කාගේ පිටද?

ප්‍රියංක සේනානායක:

“කේ. ඩී. ලාල්කාන්ත ඇමැතිතුමාගේ පිට නම් හොඳයි. මොකද එතුමාගේ පිට තමයි ඒ වගේ ලොකු බරක් දරන්න තරම් හයියට තියෙන්නේ!”

රතුඉර –

අපායේ “ලොකුම බොරුකාරයන්ගේ ලැයිස්තුවේ” මුල් තැනට එන්න වත්මන් ඇමැතිවරයෙක් කියපු ප්‍රබලම බොරුව මොකක්ද?

ප්‍රියංක සේනානායක:

“‘ගල් අඟුරුවලින් මම නම් කිසිම වංචාවක් කළේ නෑ’ කියලා ගල් අඟුරු ඇමැති කියන එකයි, ‘වරායේ කන්ටේනර් නිදහස් කළේ නෑ’ කියන එකයි තමයි ලෝකෙ ලොකුම බොරු!” 

ලබන සතියෙත් හුණ්ඩුවේ මහ ගෙදර අන්දර වැට තවත් අන්දරයකින් මෙව්ව වෙමු හොදේ…

 ලිව්වේ, නිමල් අල්ගෙවත්ත

Share.
Leave A Reply