ශ්‍රී ලංකා පොලිස් නිෂ්කාශන පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ පොලිස් නිස්කාශන සහතික ලබා ගැනීම සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීම සඳහා නිෂ්කාශන පරිගණක පද්ධතිය යථාවත් වනතුරු පහත පරිදි ක්‍රියා කිරීමට අවස්ථාව සලසාදී ඇත. 

පොලිස් නිෂ්කාශන අයදුම්කරුවන් විසින් ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය තුළින් (www.police.lk) Digital Services Clearance Cetificate “Download Applicatoin” මඟින් අදාළ අයදුම්පත බාගත (download) කර ගැනීමට කටයුතු කරන්න.  අනතුරුව සම්පූර්ණ කරන ලද අයදුම්පත සමග ඔබගේ ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය, සහ ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ නම අතර වෙනසක් තිබේ නම් දිවුරුම් ප්‍රකාශයක පිටපතක් (විදෙස් ගමන් බලපත්‍රයේ නමට නිෂ්කාශන ඉල්ලා සිටී නම් පමණක්) ඉදිරිපත් කරන්න. 

ඔබ විදෙස්ගතව සිටින අයෙකු නම් ඉහත සඳහන් ලියකියවිලි සමඟ ඔබගේ ළඟම ඥාතියකු පොලිස් ස්ථානය වෙත යොමු කරන්න.  එහිදී අදාළ පොලිස් ස්ථානයේ නිලධරයෙකු ඔබගේ අයදුම්පත නිෂ්කාශන පද්ධතියට ඇතුලත් කිරීම සඳහා සහාය වනු ඇත.  ඔබට සහාය දක්වන පොලිස් නිලධරයා අයදුම්පත පද්ධතියට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔබ විසින් තොරතුරු පරීක්ෂා කර එම තොරතුරු නිවැරදි බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව අයදුම්පතේ ඔබගේ අත්සන යොදා ඒ බව තහවුරු කිරීමට කටයුතු කරන්න. 

අයදුම්පත් ගාස්තු වශයෙන් රුපියල් 5000/- ක මුදලක් අය කරනු ලබන අතර ඒ සඳහා මුදල් කුවිතාන්සි පතක් පොලිස් ස්ථානය මගින් ලබාදෙනු ඇත.  පෙර හඳුන්වා දෙන ලැබූ clear.applicatoin@gov.lk දරණ විද්‍යුත් තැපැල් මගින් අයදුම්පත් ඉදිරිපත් කිරීම මින් ඉදිරියට සිදු කිරීම අවශ්‍ය නොවන අතර, එසේ අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන්ද ඉහත ක්‍රමවේදය අනුව ළඟම පොලිස් ස්ථානය මගින් පොලිස් නිෂ්කාශන සහතික පත් අයදුම් කිරීමට කටයුතු කරන්න.  විදෙස් ජාතිකයන්ට පොලිස් නිෂ්කාශන සහතිකයක් අයදුම් කිරීමේදී ඔවුන්ගේ රටෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් අයදුම්පත් භාරදීමේ හැකියාව ඇත. 

පද්ධතියට දත්ත ඇතුළත් කිරීමෙන් අනතුරුව පොලිස් ස්ථානයේ නිලධරයන්ට එම දත්ත වෙනස් කිරීමක් සිදු කළ නොහැක.  නිෂ්කාශන පද්ධතිය යථාවත් වූ සැණින් පෙර පරිදි මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ අයදුම්කරුවන් සඳහා නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීම සඳහා අවස්ථාව සලසා දෙන බවට දන්වා සිටිමි. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය.   

Share.
Leave A Reply