වී මිල ස්ථාවර කර ගොවියාත් පාරිභෝගිකයාත් සුරක්ෂිත කරනවා

හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනයේ පැරණි ගණන් හැදීම් යාවත්කාලීන විය යුතුයි – ඇඹිලිපිටියේදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත කියයි

රටේ කෘෂිකර්මාන්තය නැංවීම උදෙසා අක්කරයකින් ඉහළ අස්වැන්නක් ලබාගනිමින් ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබාදුන් ගොවි ජනතාව ඇගයීමේ විශේෂ උත්සවයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇඹිලිපිටියේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

මෙම උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අක්කරයකට වී බුසල් 80ක් ලබාගැනීමේ පැරණි මතය වර්තමාන ගොවි ජනතාව විසින් මුළුමනින්ම වෙනස් කර ඇති බවයි.

තමන් ලබාගත් අධික අස්වැන්න පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අක්කරයකට වී බුසල් 80යි කියන මතයක් සමාජයේ තියෙනවා. නමුත් අද වන විට අක්කරයකට වී බුසල් 150-160ත් අතර ප්‍රමාණයක් ලබාගන්නා ගොවි මහත්වරුන් 25 දෙනෙක්, බුසල් 160-170ත් අතර ලබාගන්නා ගොවීන් 98 දෙනෙක්, බුසල් 170-180ත් අතර ලබාගන්නා 35 දෙනෙක් සහ බුසල් 180-190ත් අතර ලබාගන්නා ගොවීන් 11 දෙනෙක් මෙහි සිටිනවා. අක්කරයකට වී බුසල් 200කට වඩා ලබාගන්නා එක් ගොවි මහතෙකුත් මෙහි සිටිනවා. මොවුන් සැබවින්ම ජාතික කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වීරයන්.”

ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය 1960 දශකයේදී සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1970-1975 කාලයේදී අක්කරයකට වී බුසල් 80ක අස්වැන්නක් ගැන සඳහන් කළ බව මතක් කළ අමාත්‍යවරයා, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය තවමත් වී කිලෝවක පිරිවැය ගණනය කිරීමේදී එම පැරණි සීමාවේ තබා ගණන් හදන බව පෙන්වා දුන්නේය.

වර්තමානයේ සාමාන්‍ය අස්වැන්න මීට වඩා වැඩි බැවින් එම දත්ත වහා යාවත්කාලීන විය යුතු බවත්, දැනට පවතින තත්ත්වය අනුව වී කිලෝවක් සඳහා රුපියල් 120ක මුදලක් ප්‍රමාණවත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වී සහ සහල් මිල නිතර වෙනස් වීම නිසා ගොවියා මෙන්ම පාරිභෝගිකයාද සූරාකෑමට ලක්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාතික ප්‍රතිපත්තියක් ලෙස වී මිල ස්ථාවර කිරීමට පියවර ගන්නා බවත්, ලියදි ලොකු කිරීම තුළින් නිෂ්පාදන පිරිවැය අඩු කරගත හැකි බවත් පැවසීය.

එමෙන්ම කෘෂි රසායනික සඳහා සහනයක් දීමටත්, ඉදිරි අයවැයෙන් පොහොර සහනාධාරය තවදුරටත් වැඩි කිරීමටත් බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා, පිරිවැය අඩු කරමින් හැකි උපරිම අයුරින් ගොවියාට සහන් සෑදීමට රජය බැඳී සිටින බව වැඩිදුරටත් පැවසීය.

ජාතික වශයෙන් අක්කරයකින් ලබාගන්නා අස්වැන්න අවම වශයෙන් වී බුසල් 100ක් දක්වා වැඩි කරගත යුතු බව අවධාරණය කළ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, අධික ඉල්ලුමක් පවතින කීරි සම්බා නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, සංචාරක කර්මාන්තය සඳහා විදේශයන්ගෙන් ආනයනය කරන බාස්මතී සහල් ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කර ආනයනය නැවැත්වීමටත් කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා කෘෂිකාර්මික නිලධාරීන් සහ ගොවි ජනතාව දහසකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply