– සෞඛ්‍ය බලධාරීන් ඇමැතිවරයා මුළා කරලා: ඒකාබද්ධ බලමණ්ඩලයෙන් චෝදනා
පරිපූරක වෛද්‍ය වෘත්තීන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලුව තවදුරටත් සංකීර්ණ නොකර වහා විසඳීමට මැදිහත් වන ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
දීර්ඝ කාලයක සිට පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය ලේකම්වරයා මේ දක්වා කිසිදු අවස්ථාවක් ලබා දී නොමැති බවත්, නිලධාරීන් විසින් ලබා දෙන අසත්‍ය තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම නිසා අර්බුදය තවත් උග්‍ර වී ඇති බවත් එම බලමණ්ඩලය පෙන්වා දෙයි.
මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළ කරුණු මෙසේය:
සත්‍ය තොරතුරු සඟවා ඇමැති මුළා කිරීම: බඳවා ගැනීමට අදාළව ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව සහ සැබෑ පුරප්පාඩු පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අමාත්‍යවරයාට නිවැරදි තොරතුරු ලබා දී නොමැත.
ද්විත්ව ප්‍රමිතිය සහ හිතාමතා කළ බලපෑම්: එකම ගැසට් පත්‍රය යටතේ ශ්‍රවණවේදී කාර්මික ශිල්පී තනතුර සඳහා බඳවා ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සහ භෞතිකචිකිත්සක වෘත්තිකයන් සඳහා අනුගමනය නොකිරීමෙන් බලධාරීන් මෙම ගැටලුව හිතාමතා නිර්මාණය කර ඇති බව පැහැදිලි වේ.
අධිකරණ ක්‍රියාමාර්ග සහ නව ගැසට් පත්‍රයේ අවදානම: මෙම බඳවාගැනීම් සම්බන්ධ නඩු කටයුත්තක් දැනටමත් අධිකරණය හමුවේ පවතින අතර, තීන්දුව ලැබීමට පෙර නැවතත් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට උත්සාහ කළහොත් අදාළ උපාධිධාරීන්ට සිදුවන්නේ දැඩි අසාධාරණයකි.
දේශපාලන පක්ෂපාතීත්වය සහ වෘත්තීය සමේලන මඟහැරීම: සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට සාකච්ඡා ලබා දෙන්නේ රජයට අනුබද්ධ වෘත්තීය සමිතිවලට පමණි. සෞඛ්‍ය ක්ෂේත්රයේ බහුතරයක් නියෝජනය කරන ස්වාධීන වෘත්තීය සමිති මඟහැරීම නිසා සමස්ත සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම ඇනහිට තිබේ.
එබැවින් පටු දේශපාලන අරමුණුවලින් බැහැරව, සැබෑ පුරප්පාඩු පදනම් කරගනිමින් මෙම උපාධිධාරී බඳවා ගැනීමේ අර්බුදයට වහාම සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.

