කොළඹ: 1926 වසරේදී කළුතර ජාතික සෞඛ්‍ය ඒකකය පිහිටුවීමත් සමඟ ආරම්භ වූ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාව සියවසක (වසර 100) අභිමානවත් ගමන් මග සම්පූර්ණ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සියවස් සැමරුම් උත්සවයේදී, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්කරගෙන ඇති ප්‍රගතිය තහවුරු කෙරෙන ප්‍රධාන සංඛ්‍යාලේඛන කිහිපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අනාවරණය කරන ලදී.
ජීවිත සුරැකීමේ සංඛ්‍යාත්මක ප්‍රගතිය
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන් පරිදි, පසුගිය සියවස තුළ මෙරට ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ඇති ප්‍රධාන ජයග්‍රහණ සංඛ්‍යාලේඛන ඇසුරින් මෙසේය:
- මාතෘ මරණ සංඛ්‍යාව: අතීතයේ පැවති 2,500 ක ඉහළ අගයේ සිට 25 දක්වා 99% කට වඩා පහත හෙළීමට හැකිවී තිබේ.
- ළදරු මරණ අනුපාතිකය: සජීවී උපත් 1,000 කට සිදුවූ ළදරු මරණ සංඛ්‍යාව 200 සිට 05-06 දක්වා ශීඝ්‍රයෙන් අවම කරගෙන ඇත.
- වසංගත මර්දනය: අතීතයේදී වසරකට 1,000,000 (ලක්ෂයකට) ආසන්න පිරිසක් මරණයට පත්කළ මැලේරියා රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට සමත්ව තිබේ.
සේවා ජාලය සහ ඇගයීම්
- MOH කොට්ඨාස 362ක්: 1926 දී එකම එක ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකයකින් ආරම්භ වූ මෙහෙයුම් අද වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 362 කට වඩා වැඩි සක්‍රීය ජාලයක් දක්වා ව්‍යාප්ත වී ඇත.
- කණ්ඩායම් 36 ක් ඇගයීමට: සියවසක් පුරා මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව උදෙසා කැපවූ ප්‍රජා සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36 ක් මෙහිදී ජනාධිපතිවරයා අතින් ඇගයීමට ලක් විය.
අනාගත අභියෝග සහ ‘ආරෝග්‍යා’ වැඩසටහන
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිත වෛද්‍ය Rajesh Sambhajirao Pandav මහතා පෙන්වා දුන්නේ අතීත සාර්ථකත්වයට අමතරව ඉදිරි සියවස සඳහා බෝ නොවන රෝග, වැඩිහිටි ජනගහණය ඉහළ යාම සහ මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමේ නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, වත්මන් රජය හඳුන්වා දී ඇති “ආරෝග්‍යා” වැඩපිළිවෙළ යටතේ අංක 01 ප්‍රමුඛතාව ප්‍රජා සෞඛ්‍යයට ලබා දී ඇති බවත්, එමඟින් නව තාක්ෂණය සහ සෞඛ්‍ය සාධාරණත්වය මුළු දිවයිනටම ව්‍යාප්ත කරන බවත්ය.

