ශ්‍රී ලාංකීය දරුවන්ගේ සහ නව යොවුන් පරපුරේ ආරක්ෂාව, ගෞරවය සහ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් ලිංගිකත්වය පිළිබඳ නිවැරදි දැනුම ලබාදීමේ “ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ” හෙට (15) පස්වරුවේ කොළඹ BMICH හිදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාඡ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබයි.
හෙට එළිදැක්වෙන ප්‍රධාන ලේඛන:
වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය පිළිබඳ සන්නිවේදන මාර්ගෝපදේශය
6 සහ 7 ශ්‍රේණිවල ගුරුවරුන් සඳහා වන විශේෂ සන්නිවේදන අත්පොත
ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ ජාතික අධ්‍යයන වාර්තාව
වෘත්තීය පුහුණු (TVET) ක්ෂේත්‍රය සෞඛ්‍ය ප්‍රවර්ධන පරිසරයක් ලෙස සංවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුම
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කරන්නේ මෙම ජාතික මාර්ගෝපදේශ හඳුන්වාදීමත් සමඟ, ලිංගික අධ්‍යාපන කරුණු සන්නිවේදනය කිරීමේදී වගකිවයුතු සියලුම අංශ මෙම නිල උපදෙස් මාලාව අනුගමනය කළ යුතු බවයි.

