අරගලයේ අභිලාෂයන් අමු අමුවේ උල්ලංඝනය කරලා!

සියලු පක්ෂවලට එරෙහිව දැවැන්තම දේශපාලන සන්ධානය ළඟදීම කරළියට!

බන්ධනාගාර ව්‍යසන කෘෂිකාර්මික හා අධ්‍යාපන අර්බුද හමුවේ ආණ්ඩුව කල්මරන ‘බොළඳ’ පිළිවෙතක්!

විපක්ෂයටත් විද්‍යාත්මක ක්‍රමවේදයක් නෑ!

රට හදන්න නව ඒකාබද්ධ ජනතා බලවේගයක් පක්ෂයක් සන්ධානයක්!  අරගලයේ සාමූහිකය සහ නිර්පාක්ෂික ජාතික ව්‍යාපාරය නවතම තීන්දුවක් ගනී!

මෙරට ජනතාව 2022 ජූලි 09 වන දින දියත් කළ ඓතිහාසික අවිහිංසාවාදී මහජන අරගලයට වසර 4ක් ගතවී ඇතත් එදා පෙරළා දැමූ බලලෝභී පාලනය වෙනුවට පත්කළ වත්මන් ආණ්ඩුව ද ජනතා අභිලාෂයන් අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව අරගලයේ සාමූහිකය සහ නිර්පාක්ෂික අරගලකරුවන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස අවධාරණය කරයි. 

වත්මන් පාලනයේ මෙන්ම විපක්ෂයේ ද පවතින අකාර්යක්ෂමතාවය සහ නොහැකියාව හමුවේ ඉදිරියේ දී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ නායකයන්ට විරුද්ධව ප්‍රබල තීන්දුවක් ගන්නා බව එම ව්‍යාපාරයේ කැඳවුම්කරු විමල් ජයසූරිය මහතා පවසයි.

මේ අනුව රටට ආදරය කරන සියලුම පක්ෂ, කණ්ඩායම් සහ සංවිධාන ඒකාබද්ධ කරගනිමින් රට පුරා දැවැන්තම දේශපාලන ව්‍යාපාරය සහ නව දේශපාලන සන්ධානය ළඟදීම කරළියට පමුණුවන බව හෙතෙම පැවසීය. 

වත්මන් පාලනය සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් ඇති බව ද ඔහු කීය.

බන්ධනාගාර තුළ සිදු වූ බරපතල ව්‍යසනයන් වෙනස් කරන්නයි ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ,නමුත් විසඳුම් දීමට පූර්ණ හැකියාව තිබියදීත් ආණ්ඩුව කිසිදු තීන්දුවක් නොගෙන කල් මරන බවද ඔහු කීය.

සැකකරුවන් සහ අපරාධකරුවන් වෙන් කර තැබීමට සුදුසු බන්ධනාගාර පද්ධතියක්වත් සකස් කිරීමට නොහැකි වීමෙන් ආණ්ඩුවේ නොහැකියාව මුළු රටටම ඔප්පු වී අවසන් බවත් අපි මේ ආණ්ඩුව පත් කළේ මෙවැනි බොළඳ වැඩ කරමින් කල් මරන්න නොවන බවද ඔහු කීය.

රටේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සහ කෘෂිකර්මාන්තයේ පවතින බරපතල අර්බුදවලට විසඳුම් ලබාදීමට අප බලාපොරොත්තු වුණත්, එවැනි කිසිදු යහපත් වෙනසක් අද දැකිය නොහැකි බවද ඔහු කීය.

විපක්ෂය ද රටේ අර්බුදවලට කිසිදු විද්‍යාත්මක උත්තරයක් ඉදිරිපත් කරන්නේ නැහැ අතර ඔවුන්ගේ නොහැකියාව ද ඔප්පු වී අවසන් යැයි ද ඔහු සඳහන් කළේ ය.

මේ නිසා ආණ්ඩුවේ සහ විපක්ෂයේ අසාර්ථකත්වයට එරෙහිව අරගලයේ සමාජ, ආර්ථික, පාරිසරික සහ දේශපාලන ප්‍රතිපත්ති මාලාව ඔස්සේ රටේ බලය ලබාගෙන ජනතාව සමඟ පෙරට යන නව දේශපාලන ප්‍රවාහයක් සඳහා මුළු රටම මෙහෙයවීමට කටයුතු කරන බව ජයසූරිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.   

Share.
Leave A Reply