කර්මාන්තශාලා 23කටම එකම ගිනි නිවන ඒකකයක්වත් නෑ – මන්ත්‍රී චානක මාධුගොඩ මහතා හෙළි කරයි.

ලංකාවේ තෙවැනියට විශාලතම කර්මාන්ත පුරවරය වන කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය මේ වන විට දැඩි ගිනි අවදානමකට ලක්ව ඇති අතර, එහි සේවය කරන 10,000කට අධික සේවක සේවිකාවන්ගේ ජීවිත බරපතල අනතුරක වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාධුගොඩ මහතා අනාවරණය කරයි.

මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේ කොග්ගල ආයෝජන කලාපය තුළ කඩිනමින් ගිනි නිවන ඒකකයක් ස්ථාපිත කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරමිනි.

දැනට සක්‍රීය මහා පරිමාණ කර්මාන්තශාලා 23ක් ක්‍රියාත්මක වන කොග්ගල වෙළෙඳ කලාපය තුළ, අතිශය ගිනිගන්නා සුළු ද්‍රව්‍ය භාවිත කරමින් භාණ්ඩ සකස් කරන කර්මාන්තශාලා ද පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එසේ තිබියදීත්, හදිසි අනතුරකදී ක්‍රියාත්මක වීමට සමත් එකම ගිනි නිවන ඒකකයක් හෝ මෙම කලාපය තුළ ස්ථාපිත කර නොමැති වීම ජාතික මට්ටමේ අඩුපාඩුවක් බව ඔහු සඳහන් කළේය.

“මෙය ලංකාවේ තෙවැනි විශාලතම කර්මාන්ත පුරවරයයි. මෙහි සේවකයන් 10,000ක් විතර වැඩ කරනවා. ඒ වගේම දැඩි ලෙස ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය භාවිත කරන කර්මාන්තශාලාත් මෙතන තියෙනවා. නමුත් අද වනතුරුත් මේ මුළු කලාපයටම එක ගිනි නිවන ඒකකයක් නෑ. හදිසියක් වුණොත් මේ 10,000කගේ ජීවිතවලට වෙන්නේ මොකක්ද? මේක බරපතල හානියක්.”

යම් හෙයකින් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගතහොත්, බාහිරින් ගිනි නිවන රථ කැඳවීමට යන කාලය තුළ සමස්ත කලාපයම අළුවී යාමේ සහ විශාල ජීවිත හානියක් සිදුවීමේ අවදානමක් පවතී.

එම නිසා, රටට විදේශ විනිමය උපයා දෙන ශ්‍රමිකයන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන්, කොග්ගල ආයෝජන කලාපය තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණ පහසුකම් සහිත ගිනි නිවන ඒකකයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කළ යුතු බව චානක මාධුගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Share.
Leave A Reply