රාජ්‍ය සේවය කාර්යක්ෂම කරමින්, ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවේදී ගනු ලැබූ ප්‍රධානතම තීරණ 04 මෙන්න:

🔹 01. මධ්‍යම රජයේ අනුමැතිය එනතෙක් රතු පටියට හිරවීම අවසන් – සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක්! ප්‍රාදේශීය මට්ටමින් මතු වන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය එනතෙක් ප්‍රමාද නොකර, සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා කඩිනමින් ඉටු කිරීමට හැකි වන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් වෙන් කෙරේ.

🔹 02. යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000කට ලබන වසරේදී ස්ථිර නිවාස! යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ නිවාස ගැටලුව කඩිනමින් විසඳීම රජයේ ප්‍රමුඛතම අපේක්ෂාවකි. ඒ අනුව යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට සියලු කටයුතු සූදානම්.

🔹 03. දේශපාලන වුවමනා මත අතරමග නැවතුණු නිවාස නිම කිරීමට රජයෙන් සෘජු ආධාර! විවිධ හේතු සහ දේශපාලන වුවමනා මත අවිධිමත් ලෙස ආරම්භ කර අතරමග අතහැර දමා ඇති නිවාස පිළිබඳ කඩිනම් සමීක්ෂණයක් වහාම ඇරඹේ. ජනතාවට සැබවින්ම අවශ්‍ය ව්‍යාපෘති පමණක් හඳුනාගෙන, එම නිවාසවල වැඩ අවසන් කිරීම සඳහා නිවාස ආධාර ලබා දීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

🔹 04. ඵලදායීතාවෙන් තොර රාජ්‍ය ආයතන ඉවත් කෙරේ – පුළුල් රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණයක්! ගුණාත්මක හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් වෙනුවෙන් මහජන මුදල් නාස්ති වන, ඵලදායීතාවෙන් තොර ආයතන ඉවත් කිරීමට පියවර ගැනේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල පුරප්පාඩු පිරවීමට අමතරව, බන්ධනාගාර තදබදයට ප්‍රධාන හේතුවක් වූ රසපරීක්ෂක වාර්තා ප්‍රමාදය වැළැක්වීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු ද කඩිනමින් පිරවීමට නියෝග.

🚫 විශේෂ අවධාරණය: මහජන ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගංවතුර සහ නායයෑම් අධි අවදානම් කලාපවල අලුතින් පදිංචි වීමට මින්පසු ඉඩ නොලැබෙන අතර, එම ප්‍රදේශවලට විදුලිය සහ ජලය වැනි මූලික පහසුකම් සැපයීම ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් වහාම අත්හිටුවිය යුතුය.

Share.
Leave A Reply