අනීතික ලෙස සේවයෙන් ඉවත් කිරීම් සහ වැටුප් නොගෙවීම් ඇතුළු චෝදනා රැසක්!
EPF සහ ETF දායක මුදල්ද පැහැර හැරලා?
පැමිණිලි රැසක් කම්කරු දෙපාර්තමේන්තුවට; විමර්ශන වහාම ක්‍රියාත්මකයි.
විශේෂ වාර්තාකරුවෙකු විසිනි!
මෙරට ප්රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක් වන කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ පිහිටි ‘සිලෝන් නිව්ස්පේපර්ස්’ පුද්ගලික ආයතනය තුළ වර්තමානයේ උද්ගතව ඇති බරපතළ සේවක ගැටලු සහ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුළුල් හා කඩිනම් විමර්ශනයක් ආරම්භ කර, ඒ පිළිබඳ වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා නියෝග කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම විශේෂ නියෝගය නිකුත් කර ඇත්තේ කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය වෙතය.
චෝදනා පත්‍රය දිගු වෙයි! මාධ්‍යවේදීන් සහ සේවකයන් දැඩි අසීරුවක!
දිගින් දිගටම වා ර් තා වන තොරතුරුවලට අනුව, පසුගිය කාලසීමාව පුරාවටම මෙම ආයතනයේ සේවකයන් රැසක් විවිධ සේවා ගැටලුවලට සහ අසාධාරණකම්වලට මුහුණ දී ඇත.
ඒ අතර ප්‍රධාන වශයෙන්, සේවකයන් කිසිදු නීත්‍යානුකූල පදනමකින් තොරව, අනීතික ලෙස සේවයෙන් ඉවත් කිරීම.
මාසික වැටුප් සහ හිමිකම් නිසි කලට නොගෙවීම.
විශ්‍රාම යාමේදී හෝ ඉවත් වීමේදී හිමිවිය යුතු පාරිතෝෂික දීමනා (Gratuity) පැහැර හැරීම.
සේවකයන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් පවතින සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සඳහා අදාළ දායක මුදල් නිසි පරිදි නොගෙවීම.
මෙම බරපතළ චෝදනා සම්බන්ධයෙන් පීඩාවට පත් සේවකයන් කිහිපදෙනෙකුම මේ වනවිටත් කම්කරු දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, එම පැමිණිලි පදනම් කරගනිමින් මේ වනවිටත් විමර්ශන කටයුතු සක්‍රියව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද වාර්තා වේ.
“ප්‍රමාද වෙන්න එපා, වහාම දැනුම් දෙන්න” – නියෝජ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්
මේ අතර, මෙවැනි කම්කරු ආරවුල් සම්බන්ධයෙන් අදහස් දක්වන කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අවධාරණය කර සිටින්නේ, ඕනෑම සේවා ස්ථානයක පැනනගින සේවා ගැටලු සම්බන්ධයෙන් සේවායෝජක සහ සේවක දෙපාර්ශ්වයට අභ්‍යන්තරිකව එකඟතාවකට පැමිණීමට නොහැකි වන සෑම අවස්ථාවකදීම, කිසිදු ප්‍රමාදයකින් තොරව ඒ බව කම්කරු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය යුතු බවයි. සේවක අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ඉඩ නොතබා, සාධාරණත්වය ඉටු කිරීමට රජය උපරිමයෙන් බැඳී සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.
මාධ්‍ය ක්ෂේත්රයේ සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ මෙරට කම්කරු නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් මෙම විමර්ශනයේ ඉදිරි ප්‍රගතිය පිළිබඳව ‘මව්බිම’ අඛණ්ඩ අවධානයෙන් පසුවේ.

