ලංකාවේ 1961 අංක 31 දරන ආයුර්වේද පනත යටතේ මෙරට පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම සඳහා දැනට අනුගමනය කරනු ලබන සමස්ත ක්‍රියාවලියම මුළුමනින්ම නීත්‍යානුකූල නොවන තත්ත්වයක පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම සඳහා දැනට අනුගමනය කරනු ලබන කිසිදු නිර්ණායකයක් හෝ ක්‍රියාපටිපාටියක් මෙතෙක් විධිමත් පරිදි රජයේ ගැසට් පත්‍රයක ප්‍රකාශයට පත් කර නොමැති වීම හේතුවෙන් මෙම බරපතළ නීතිමය අර්බුදය නිර්මාණය වී තිබේ.
ආයුර්වේද වෛද්‍ය සභාව විසින් පත් කරන ලද විශේෂ අනුකමිටුවක් මගින් කරුණු දීර්ඝ ලෙස විමර්ශනය කිරීමෙන් අනතුරුව දැනට පවතින ක්‍රමවේදය නීති විරෝධී බවට තීන්දු කර ඇති අතර ඒ බව ලිඛිතව නීතිපතිවරයා වෙත දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා නීතිපතිවරයාගෙන් ලබාගත් උපදෙස්වලට ප්‍රතිචාර දක්වමින් රජයේ අධිනීතිඥ ජයකිත් මාතුරත්න මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිල ලිපිය (E/461/2025) මගින් මෙම නීතිමය තත්ත්වය තහවුරු කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, ආයුර්වේද වෛද්‍ය සභාව මින් ඉදිරියට පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම් සිදුකළ යුත්තේ ගැසට් කරන ලද නිර්ණායකයන්ට අනුකූලව පමණක් බවයි. එලෙස ගැසට් කරන ලද නිර්ණායකයන්ට අනුකූල නොවන කිසිදු පාරම්පරික වෛද්‍යවරයකු ලියාපදිංචි කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැත.
එසේ හෙයින්, අදාළ නිර්ණායකයන් රජයේ ගැසට් පත්‍රයක පළ කිරීමට ප්‍රථම, කිසියම් හෝ ආකාරයකින් පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමක් සිදුකළහොත්, එය නීතිය ඉදිරියේ බරපතළ අර්බුදකාරී තත්ත්වයක් මෙන්ම අභියෝගයට ලක්විය හැකි කරුණක් බව නීතිපතිවරයා සෞඛ්‍ය ලේකම්වරයාට තදින්ම දන්වා ඇත.
එබැවින් දැනට පවතින අවිධිමත් ක්‍රියාවලිය වහාම නතර කර වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට අදාළ නිර්ණායක කඩිනමින් රජයේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කර තිබේ.
අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) වෙත ද මේ වන විටත් මෙම නියෝගයේ පිටපත් යොමු කර ඇති අතර, මෙතෙක් නීති විරෝධී ලෙස සිදුවූ ලියාපදිංචි කිරීම් සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පෙළේ අවධානය යොමුවී ඇති බවද සඳහන්ය.

