ලංකාවේ පාසල් දරුවන්ගෙන් 70%කට වඩා වැඩි පිරිසක් සතියක් ඇතුළත ක්ෂණික සහ අහිතකර කෙටි ආහාර පරිභෝජනයට ඇබ්බැහි වී ඇති බවත්, මින් රටේ අනාගත පරපුර දරුණු බෝ නොවන රෝග අවදානමකට ඇද දමා ඇති බවත් හෙළිවේ.

2026 ජාතික පෝෂණ මාසය වෙනුවෙන් අද (22) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු විශේෂ උත්සවයකදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව අතිශය තීරණාත්මක අනාවරණයන් රැසක් සිදු කෙරිණි.

රටම කම්පා කරවන මෙම දත්ත හමුවේ, දරුවන්ගේ සෞඛ්‍යය අනතුරේ දමන සමාගම්වල ‘අනුග්‍රහකත්ව මුදල්’ වලට වඩා රටේ අනාගතය වටිනා බව පවසමින් අමාත්‍යවරයා දැඩි ස්ථාවරයක සිටිමින් “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” නිල වශයෙන් එළිදක්වන ලදී.

සඟවන්න බැරි සැබෑ තත්ත්වය: දත්ත පෙන්වන මහා විනාශය!

නිල සමීක්ෂණ දත්ත මඟින් හෙළිවන පරිදි අපේ රටේ දරුවන්, මව්වරුන් සහ වැඩිහිටියන් සිටින්නේ සෞඛ්‍යමය වශයෙන් ඉතා ඛේදජනක අඩියකය.

පාසල් සිසුන් වස වස පැන පැන බොන/කන හැටි (වයස 13-17)

70.4% ක් සිසුන් පසුගිය සතියේ මඟ දෙපස වෙළෙන්දන්ගෙන් හෝ ක්ෂණික ආහාර අලෙවිසැල්වලින් ආහාර ගෙන ඇත!

සීනි උගුල මොක් ද්ද?  සිසුන්ගෙන් 28% ක් දිනපතාම සීනි අධික බීම වර්ග බොන අතර, 17.4% ක් දිනපතාම පැණිබීම (කාබනීකෘත බීම) ලබා ගනී.

40.9% ක් දිනපතා අධික සීනි සහිත ආහාර ද, 28.5% ක් අධික ලුණු සහිත කෙටි ආහාර ද පරිභෝජනය කරති.

මන්දපෝෂණයෙන් බැටකන දරුවන් සහ මව්වරුන් (2025 දත්ත)

වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 16.1% ක් ම අඩු බරින් පෙළෙන අතර 10.1% ක් මිටිබවෙන් (Stunting) පෙළෙති.

ගර්භනී මව්වරුන්ගෙන් 13.2% ක් මුල් මාස 3 තුළම අඩු බරැතියි. එමෙන්ම 14.3% ක් ම දරුණු රක්තහීනතාවයෙන් පෙළෙමින් සායනවල ලියාපදිංචි වේ.

ලෙඩ වෙන වැඩිහිටි පරපුර

ලංකාවේ වැඩිහිටි කාන්තාවන්ගෙන් සීයට 47.6 ක්ම (ආසන්න වශයෙන් අඩක්ම) අධි බරින් යුක්තය!

“සමාගම් සල්ලිවලට දරුවන් පාවා දෙන්න බැහැ!” – අමාත්‍යවරයාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

“පසුගිය කාලේ ආහාර රෙගුලාසි දාද්දී, පාසල්වල ව්‍යාපෘතිවලට සල්ලි දීපු සමාගම් අනුග්‍රහකත්වයෙන් අයින් වුණා කියලා පැමිණිලි ලැබුණා. පාසලේ වියදම් පියවගන්න ඒ වස කෑම දිගටම දරුවන්ට දෙනවද? නැත්නම් තව දශක කිහිපයකින් රට භාරගන්න ඉන්න දරුවන්ගේ පෝෂණය රකිනවද කියලා අපි තීරණය කරන්න ඕනේ!” යැයි සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස කීය.

මෙම වැඩසටහන හුදෙක් අද දවස ගැන නොව, 2070 සහ 2080 වසරවලදී ලංකාවේ වයස්ගත ජනගහනය බවට පත්වන වත්මන් දරු පරපුර බෝ නොවන රෝග (දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග) වලින් බේරාගැනීමේ දීර්ඝකාලීන සැලසුමක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාසලෙන් පටන්ගෙන අමාත්‍යාංශය දක්වාම වෙනස් වන “අලුත් නීතිය”

මෙවර පෝෂණ මාසය ක්‍රියාත්මක වන්නේ “කෙටි ආහාර ගැන නැවත සිතමු. සෞඛ්‍ය සම්පන්න, ස්වාභාවික කෙටි ආහාර තෝරමු” යන තේමාවෙනි.

ඒ අනුව, අලුතින් හඳුන්වා දුන් මාර්ගෝපදේශය හරහා:

පාසල් තුළ රසවත්, පෝෂ්‍යදායී සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර දැරිය හැකි මිලකට දරුවන්ට ලබා දීම අනිවාර්ය කෙරේ.

මෙම කෙටි ආහාර ප්‍රතිපත්තිය පාසලට පමණක් සීමා නොකර, සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශවල ඉහළම රැස්වීම්, සාකච්ඡා සහ උත්සවවලදී ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් ඉහළින්ම ආදර්ශය දිය යුතු බවට නියෝග කර ඇත.

මෙම මහා ජාතික අර්බුදයට මුහුණ දීම සඳහා මේ වන විටත් විශේෂ කාර්යසාධන බලකායක් (Task Force) ගොඩනගමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. අපේ දරුවන් ලෙඩ ඇඳට ඇද දමන “පැණි රස සහ තෙල් රස” උගුලෙන් ඔවුන් මුදාගැනීමට දැන්වත් මව්පියන්, ගුරුවරුන් සහ මුළු මහත් සමාජයම පෙළගැසිය යුතු කාලය එළඹ ඇත!

Share.
Leave A Reply