සතොස අවුරුදු වාසනාවන්තයින්ට රුපියල් ලක්ෂ 49 ක විදුලි මෝටර් රථයක් ඇතුළු ත්‍යාග රැසක් හෙට (19) පිරිනමයි
“සතොසින් කෝටියක්” නිකිණි වාසනා නව වැඩසටහනත් හෙට සිට ඇරඹේ
ලංකා සතොස ජාලය මඟින් පසුගිය සිංහල හා දමිළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක කළ “සතොසින් පිරි අවුරුදු සිරි” මෙගා අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ මහා දිනුම් ඇඳීමේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම (19) සිදු කෙරේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.
මෙහිදී මහා පරිමාණ ත්‍යාග රැසක් පාරිභෝගික ජනතාව වෙත පිරිනැමෙන අතර, එහි ප්‍රථම ත්‍යාගය ලෙස රුපියල් ලක්ෂ 49ක් වටිනා ‘BAW’ වර්ගයේ ඉලෙක්ට්‍රික් (විදුලි) මෝටර් රථයක් ජයග්‍රාහකයා වෙත භාරදීමට නියමිතය. ඊට අමතරව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ‘Yadea’ ඉලෙක්ට්‍රික් ස්කූටර් රථ 2ක්, ගෘහ භාණ්ඩ කට්ටල 2ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන (Smartphones) 100ක් ද මෙහිදී වාසනාවන්තයින් වෙත පිරිනැමෙනු ඇත.
මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව, ලංකා සතොස පාරිභෝගිකයින් වෙනුවෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන ද හෙට දින මාධ්‍ය වෙත නිල වශයෙන් හඳුන්වා දීමට නියමිතය.
එළඹෙන අගෝස්තු මාසයේ සිට “සතොසින් කෝටියක්” යන තේමාව යටතේ “සතොස නිකිණි වාසනා” නමින් මෙම නව ප්‍රවර්ධන වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ලංකා සතොස කළමනාකාරීත්වය සඳහන් කරයි.

