සංවිධානාත්මක බලවේග බෞද්ධයන් ‘ජාතිවාදීන්’ කරන්න හදනවා – දිලිත් ජයවීර
තනි සිදුවීම් අල්ලාගෙන මුළු සංඝ සමාජයටම ගැරහීම වැරදියි – මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
ගරුතර මහා සංඝරත්නයට සහ දහම් පාසල් පද්ධතියට එල්ල වන සංවිධානාත්මක ප්‍රහාර හරහා රටේ වසර දහස් ගණනක සංස්කෘතිය සහ සභ්‍යත්වය බිඳ දැමීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි. හෙතෙම අවධාරණය කරන්නේ භික්ෂු සමාජය සහ පන්සල ජනතාවගෙන් ඈත් කර, බුදුදහමෙන් තොර අනාගත පරපුරක් බිහි කිරීම හරහා රටේ සාම්ප්‍රදායික ගුණගරුකභාවය සහ සමාජ වටිනාකම් සහමුලින්ම විනාශ කිරීමට ඇතැම් අඳුරු බලවේග ක්‍රියා කරමින් සිටින බවයි.
මීරිගම පුරාණ විහාරස්ථානයේදී පැවැති “වර්තමාන භික්ෂුව හමුවේ ඇති අභියෝග” පිළිබඳ කාලීන සංවාදයට එක්වෙමින් දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවීර මහතා මෙසේද පැවසීය:
“සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය අවකාශයන් භාවිත කරමින් අද වන විට සම්බුද්ධ ශාසනයට සහ දහම් පාසල් පද්ධතියට අපහාස කිරීමේ සංවිධානාත්මක ප්‍රවණතාවක් රට තුළ වර්ධනය වෙමින් පවතිනවා. මෙහි ඇති භයානකම තත්ත්වය තමයි, රටට සහ ශාසනයට ආදරය කරන බෞද්ධ ජනතාව ලෝකය ඉදිරියේ ‘ජාතිවාදීන්’ ලෙස හුවා දැක්වීමට මේ බලවේග උත්සාහ කිරීම. පන්සලත්, සඟ සසුනත් බිඳ දැමූ කිසිදු රටකට දීර්ඝකාලීන පැවැත්මක් හෝ සංවර්ධනයක් ළඟා කරගත නොහැකියි.”
2600ක ශාසනය රැක්කේ භික්ෂූන් වහන්සේලායි
මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ සිටම ශාසනයට විවිධ අභියෝග එල්ල වූ නමුත්, වර්තමාන සමාජය තුළ ශාසන විරෝධී බලවේග සිය ක්‍රියාවලිය ඉතා වේගවත් කර ඇති බවයි.
“බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු වසර 2600කට අධික කාලයක් පුරා මේ උතුම් සම්බුද්ධ ශාසනය අද දක්වා ආරක්ෂා වුණේ මහා සංඝරත්නයේ අපිරිමිත කැපවීම නිසයි. සමාජයේ සිදුවන ඇතැම් හුදකලා හෝ ගැටලුකාරී සිදුවීම් පදනම් කරගෙන සමස්ත සංඝ සමාජයටම චෝදනා එල්ල කිරීම ඉතාමත් වැරදි සහගතයි. ශාසනය රැකගැනීම සැමගේ වගකීමක්,” යැයි උන්වහන්සේ පැවසූහ.
තරුණ භික්ෂූන් AI සහ ඇල්ගොරිතම ගැන සැලකිලිමත් විය යුතුයි – මහාචාර්ය චන්න ජයසුමන
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ නවීන තාක්ෂණය, විශේෂයෙන්ම ස්මාර්ට් දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතයේදී තරුණ භික්ෂූන් වහන්සේලා අතිශයින්ම ප්‍රවේශම් විය යුතු බවයි. කෘත්‍රිම බුද්ධිය (AI) සහ සමාජ මාධ්‍ය ඇල්ගොරිතම (Algorithms) මඟින් භික්ෂු සමාජය ඉලක්ක කර ගනිමින් නිර්මාණය කෙරෙන අහිතකර බලපෑම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ද ඒ මහතා කීය.
හාපිටිගම ජයසුමනාරාමාධිපති, මීරිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති රාජකීය පණ්ඩිත මක්කානිගොඩ අස්සජි නායක ස්වාමීන් වහන්සේගේ මුලසුනත්වයෙන් පැවැති මෙම මහා සංවාදය සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා දහම් සිසිල පදනමේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය නාරංගමුවේ විමලජෝති හිමියන්ගේ මූලිකත්වයෙනි.
මෙම අවස්ථාවට නීතිවේදී ගීත්මා මහත්මිය ඇතුළු විද්වතුන්, ගම්පහ දිස්ත්‍රික්කයේ පරිවේණාධිපතිවරුන්, දහම් පාසල් ගුරුවරුන් සහ බෞද්ධ ප්‍රජාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

