ලෝක ප්‍රභූන්ගේ කුමන්ත්‍රණයකින් ආනයන නැවතෙන පළමු මොහොතේම මහා ඛේදවාචකය ඇරඹේ – ජනතා පාර්ලිමේන්තුවෙන් අවසන් අනතුරු ඇඟවීම.

දිවයින පුරා විසිරී ඇති පැරැණි කුඩා වැව් තිස්පන්දහසක් (35,000) වහාම ප්‍රතිසංස්කරණය කිරීම, සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි සමූපකාර දහහතරදහස් විසිදෙකක් (14,022) ජනතාව සන්තක කරමින් ප්‍රතිසංවිධානය කිරීම සහ සක්‍රීය ජල මූලාශ්‍ර පදනම් කරගනිමින් නීල හරිත ගම්මාන දසදහසක් (10,000) වහාම පිහිටුවීම නොකළහොත්, ඉදිරියේදී සිදුවන ආනයන ඇනහිටීමත් සමඟ රට තුළ මළකඳන් සංඛ්‍යාව ඉහළ යාම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇතැයි ජනතා පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ ලේකම් උපාලි චන්ද්‍රසිරි මහතා දැඩිව අවධාරණය කරයි.

එමෙන්ම, සොබාදහමට සහ ජනතාවට දැරිය හැකි සෞඛ්‍ය ජීවන රටාවන් හුරුකිරීම සඳහා ආගමික ස්ථාන පහළොස්දහසක් (15,000) ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හෙළ වෙද මැදුරු තුන්සිය හතළිස් එකක් (341) පිහිටුවීමට රජය වහාම පියවර ගත යුතු බව ද හෙතෙම කියා සිටී.

ලෝක ආහාර සංවිධානය අද දින කතාකරන ආහාර අර්බුදය සහ ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳව නිශ්චිත විසඳුම් සහිත මෙම දැවැන්ත ජාතික වැඩපිළිවෙළ තමන් 2022 වසරේදීම ඉදිරිපත් කළ බව සිහිපත් කරන ලේකම්වරයා, පාලකයන්ගේ ප්‍රමාදය හේතුවෙන් දැන් අප අතිශයින්ම බරපතළ මාරාන්තික අනතුරක් අභියසට පැමිණ ඇති බව පවසයි.

“ආහාර, බෙහෙත්, ඉන්ධන හා බලශක්ති හිඟකම නිසා අපගේ දේශයේ එක් මිනිසෙකු වත්, මානසික හා ශාරීරික පීඩාවට ලක්වී අසරණව මියයාමට ඉඩනොදෙමු” යන තේමාව පෙරදැරි කරගනිමින්, මෙම මහා විපතින් දේශය මුදාගැනීම සඳහා ස්වයංපෝෂිත ආර්ථික, සමාජ සහ දේශපාලන ක්‍රියාවලියක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

මෙම ආහාර අනාරක්ෂිතභාවය හුදෙක් ලංකාවේ පවතින ඩොලර් හෝ විදේශ විනිමය හිඟකම නිසා සිදුවන්නක් නොවන බව හෙළි කරන උපාලි චන්ද්‍රසිරි මහතා, මෙය ලෝකය පුරා වෙසෙන ලෝක පාලකසහ ලෝක ප්‍රභූ සංගමයවිසින් සැලසුම්සහගතව එකවර නිර්මාණය කරනු ලබන අර්බුද වැලක ප්‍රතිඵලයක් බව ප්‍රකාශ කරයි.

ඉන් මිදීම සඳහා දේශීය ආහාර සුරක්ෂිතතාවය, ආහාර ප්‍රවාහනය සහ ආහාර පරිභෝජනය වහාම ප්‍රතිසංවිධානය කළ යුතු බවත්, මේ පිළිබඳව රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, දේශපාලන පක්ෂ සහ ජනමාධ්‍ය සමඟ තමන් නිරන්තරයෙන් සාකච්ඡා කළද පාලකයන් තවමත් නිද්‍රාශීලීව පසුවන බවත් ඔහු කියා සිටී.

රට තුළ පවතින මානසික ආතතීන්, උද්ඝෝෂණ, ගැටුම් සහ අරගල තවදුරටත් උත්සන්න කිරීම හරහා සිදුවන්නේ පරදේශක්කාරයන්ට අපේ මාතෘභූමිය උන්ගේ පිලිවෙලක්/පිලිකන්නක්බවට පත්කර ගැනීමට උදවු කිරීමක් පමණක් බව පෙන්වා දෙන ලේකම්වරයා, එය මුළුමනින්ම දේශද්‍රෝහී සහ ජනතාද්‍රෝහී ක්‍රියාවලියක් බව පවසයි.

එබැවින් එවැනි ද්‍රෝහී ක්‍රියාවලීන්හි කොටස්කරුවන් නොවී, රට වැටී ඇති මහා ආගාධයෙන් ගැලවීම සඳහා තමන් සතු ශක්ති ප්‍රමාණයෙන් මෙම ස්වයංපෝෂිත ජාතික වැඩපිළිවෙළ වටා රොද බඳින ලෙස දේශයේ සියලු ජනතාවගෙන්, සංවිධානවලින්, දේශපාලන පක්ෂවලින්, රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙන්ම වත්මන් ආණ්ඩුවෙන් ද ජනතා පාර්ලිමේන්තුව දැඩිව ඉල්ලා සිටියි.

Share.
Leave A Reply