රාජ්‍ය සේවයේ දූෂණය පිටුදැකීම සහ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දියත් කර ඇති පුළුල් වැඩපිළිවෙළ ලෝක රේගු සංවිධානයේ (WCO) ඉහළ ඇගයීමට ලක්ව ඇත. දූෂණ විරෝධී සහ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ ප්‍රධානී ඇන්ඩ්‍රියා හැම්ප්ටන් මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල නියෝජිත පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
සදාචාරාත්මක, වගවීමකින් යුත් සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා වත්මන් රජය උපරිම ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති ලේකම්වරයා, ඒ වෙනුවෙන්ම කැපවූ විශේෂ අංශයක් ජනාධිපති කාර්යාලය තුළම ස්ථාපිත කර ඇති බව අනාවරණය කළේය.
රාජ්‍ය නිලධාරීන් අතර දූෂණයෙන් තොර සංස්කෘතියක් ආයතනගත කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මේ වන විට රට පුරා ප්‍රධාන රාජ්‍ය ආයතන කේන්ද්‍ර කරගනිමින් අභ්‍යන්තර කටයුතු ඒකක 360ක් සාර්ථකව පිහිටුවා ඇත.
සියලුම රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු
පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල
දිස්ත්‍රික් ලේකම් කාර්යාල
ප්‍රධාන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන
මෙම වසර තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ඉතිරි සියලුම රාජ්‍ය ආයතන ද ආවරණය වන පරිදි මෙම ඒකක ජාලය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙම ඒකක සඳහා පත් කරන නිලධාරීන්ට දූෂණ විරෝධී නීති, දූෂණ අවදානම් තක්සේරු කිරීම සහ අවදානම් කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණුවක් ද ජනාධිපති කාර්යාලය මඟින් ලබා දෙයි.
මෙහෙයුම් ඩිජිටල්කරණය සහ මාර්ගගත (Online) පද්ධතිය
දූෂණ විරෝධී සටන වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති කාර්යාලය විසින් අතිනවීන මාර්ගගත (Online) වේදිකාවක් ද හඳුන්වා දී ඇත. මෙම මධ්‍යගත පද්ධතිය හරහා:
පැමිණිලි ස්වාධීනව කළමනාකරණය කිරීම.
ක්‍රියාකාරී සැලසුම් වාර්තා කිරීම සහ දැඩි ලෙස අධීක්ෂණය කිරීම.
රට පුරා සිදුවන දූෂණ ප්රවණතා සහ දත්ත විශ්ලේෂණය කරමින් නිවැරදි තීරණ ගැනීම.
ජනාධිපති කාර්යාලයේ මෙම විනිවිදභාවයෙන් යුත් මුලපිරීම් ලෝක රේගු සංවිධානයේ (WCO) ඇගයීමට ලක් වූ අතර, මෙම නව මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතිය ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමට ලැබුණු මහඟු අවස්ථාවක් බව ඇන්ඩ්‍රියා හැම්ප්ටන් මහත්මිය ප්‍රකාශ කළාය. රේගු පරිපාලනය තුළ පවතින දූෂණ අවදානම් කලින් හඳුනාගෙන ඒවා අවම කිරීමට මෙම දත්ත පද්ධතිය සෘජුවම දායක වන බව ද ඇය පෙන්වා දුන්නාය.
රාජ්‍ය අංශයේ විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්වුණු මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා ලෝක රේගු සංවිධානයේ නියෝජිතයන් මෙන්ම ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවිය ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

