වගකීම ආණ්ඩුව භාරගත යුතුයි – ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථානය කියයි.

ලක්ෂ 15ක වාහන සහ ලක්ෂ 20ක සේවකයින්ගේ අනාගතය අනතුරේ!

ඇමතිවරයා දුන් පොරොන්දුව ඉටුකරන තෙක් ක්ෂේත්‍රයම බලා සිටී!

ලංකාවේ සමස්ත ප්‍රවාහන කර්මාන්තයම මේ වන විට බරපතළ කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බවත් රට හමුවේ තිබෙන මෙම දැවැන්ත අර්බුදයේ වගකීම වත්මන් ආණ්ඩුව විසින් ඍජුවම භාරගත යුතු බවත් ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති සමන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රවාහන වෘත්තිකයන් මෙන්ම සමස්ත කර්මාන්තයම ආරක්ෂා කරන විශේෂ වැඩසටහනක් කඩිනමින් දියත් කරන බවට විෂයභාර ඇමතිවරයා තමන් වෙත ඍජුවම පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව හමුවේ ප්‍රවාහන ක්ෂේත්‍රය දැඩි විශ්වාසයකින් යුතුව බලා සිටින බවත් ඒ මහතා සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමන්ත රණසිංහ මහතා මෙසේද පැවසීය.

“මේ වන විට ලංකාවේ පොදු සහ භාණ්ඩ ප්‍රවාහන පහසුකම් සපයන වාහන ලක්ෂ 15කට අධික ප්‍රමාණයක් ධාවනය වෙනවා. පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, ලොරි රථ සහ පාසල් බස් රථ මේ අතර ප්‍රධානයි. මෙම වාහන මත යැපෙන, සේවය සපයන රියදුරන් සහ සහායකයන් ඇතුළු පිරිස ලක්ෂ 20කට අධිකයි. මේ ලක්ෂ 20ක ජනතාවගේ අනාගතය සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම පියවරක් ගත යුතුයි.”

විෂයභාර අමාත්‍යවරයා දුන් පොරොන්දු ඉටුකිරීම ප්‍රවාහන අංශයේ සේවකයන්ගේ අභිවෘද්ධියට මෙන්ම දිනපතා පීඩාවට පත්වන මගී ජනතාවගේ සුභසිද්ධියට ද හේතුවන බැවින්, ආණ්ඩුව තවදුරටත් මීට ලැදි නොවිය යුතු බව ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply