වසරකට 9,125,000කට අධික පිරිසක් පැමිනෙන කොළඹ ජාතික රෝහලේ පරිපාලනය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරමින් ක්‍රියාත්මක වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය,සොරකම් සහ මූල්‍ය දූෂණ රැසක් රෝහල් කා ර් ය මණ්ඩලය විසින් අනාවරණය කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, රෝහලේ ආරක්ෂාව සහ පවිත්‍රතාව භාරව සිටින, එකම අධ්යක්ෂ මණ්ඩලයකින් ක්‍රියාත්මක වන පෞද්ගලික සමාගම් දෙකක මාෆියාවක් මීට සෘජුවම වගකිව යුතු බවයි.
රෝහල් පරිශ්‍රය තුළ දිනපතා ‘අයිස්’ ඇතුළු මාරාන්තික මත්ද්‍රව්‍ය බෙදාහැරීම සහ දිනකට රෝහලට පැමිණෙන 25,000කට අධික ජනතාවගේ රන් ආභරණ මෙන්ම මුදල් පසුම්බි සොරකම් කිරීම පිටුපස මෙම දූෂිත පවිත්‍රතා හා ආරක්ෂක කල්ලි දෙක සිටින බවට බලධාරීහු චෝදනා කරති.
මීට අමතරව, පවිත්‍රතා කටයුතු සඳහා සේවකයන් 160 දෙනෙකු අවශ්‍ය බව පවසා රජයෙන් මුදල් වෙන් කරවා ගන්නා මෙම සමාගම, දිනපතා සේවයේ යොදවා ඇත්තේ 40කට ආසන්න පිරිසක් පමක් බව ද රෝහල් බලධාරි අප සමඟ පැවසුහ.
ඉතිරි සේවකයින් 120 දෙනාගේම වැටුප් හා දීමනා වංචනික ලෙස සමාගම් හිමිකරුවන් සතු වන අතර, මේ හේතුවෙන් රෝහල් වාට්ටුවල පවිත්‍රතාව සම්පූර්ණයෙන්ම පිරිහී පවතින බව ද රෝහල් බලධාරිහු පැවසූහ.
මෙම අක්‍රමිකතා හේතුවෙන් 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමාගම්වලට ටෙන්ඩරය පැවරීමට නියමිතව තිබුණද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පුටු, ගිණුම් හා විගණන අංශවල ඇතැම් දූෂිත නිලධාරීන් රුපියල් කෝටි ගණනින් අල්ලස් ලබා ගනිමින් නව ටෙන්ඩර් කැඳවීම හිතාමතාම ප්‍රමාද කර ඇති බව ද රෝහල් බලධාරිහු පැවසූහ.
රටේ මහජන මුදල් කාබාසිනියා කරමින්, රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළන මෙම මහා පරිමාණ ජාවාරම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා රෝහල බේරා දෙන ලෙස සමස්ත රෝහල් කා ර් ය මණ්ඩලය විෂයභාර අමාත්‍යවරයාගෙන් සහ රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටිති.

