ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 75-80 දක්වා පහත වැටෙද්දීත්, දේශීයව පනවා ඇති 18% ක අධික වැට් (VAT) බදු හේතුවෙන් ලංකාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් සිව් ගුණයකින් (400%) ඉහළ ගොස් ජනතාව දැඩි පෝෂණ අර්බුදයකට ඇද දමා ඇති බව සමගි ජන බලවේගය පවසයි.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, ආණ්ඩුවේ වැරදි බලශක්ති ප්‍රතිපත්ති හේතුවෙන් දිනකට අමතරව ඩීසල් ලීටර් ලක්ෂ 8 ක් (මාසයකට ලක්ෂ 24 ක්) දහනය කිරීමට සිදුවීමෙන් විදුලි උත්පාදනය සඳහා ඒකකයකට රුපියල් 75-90 ක දැවැන්ත පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.
රජය වක්‍ර බදු හරහා භාණ්ඩාගාරය තුළ රුපියල් ට්‍රිලියනයක මුදලක් ගොඩගසා තිබුණද රටේ පෝෂණ ඌනතාවය 20% දක්වා ඉහළ ගොස් ඇති බවත්, සනිපාරක්ෂක තුවා සඳහා 50% ඉක්මවූ අධික බදු පැනවීම නිසා මෙරට කාන්තාවන්ගෙන් 50% කට වඩා “ආර්තව දාරිද්‍රතාවයෙන්” පෙළෙන බවත් ඔහු දත්ත සහිතව අනාවරණය කළේය.
දේශීය නිෂ්පාදන ආර්ථිකය බිඳවැටීම නිසා වසරකට වෘත්තිකයන් ලක්ෂ 3 කට අධික පිරිසක් රට හැර යන බවත්, ආණ්ඩුව 2040 දක්වා ණය ගෙවීමේ සැලසුම් සකස් කරමින් උපදින්නට සිටින දරුවා පවා නැවතත් IMF ණය උගුලක සිරකරමින් සිටින බවත් වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

