මැතිවරණ සෙල්ලමෙන් මහජන පරමාධිපත්‍යයට වැට බැඳලා!
තේරීම් කාරක සභා මඩවළේ පළාත් සභා ගිල්වද්දී, ආණ්ඩුකාරවරුන්ගේ සංසදයෙන් ජනපතිට රතු එළියක්!
බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ දා සිට මෙරට ජනතාව භුක්ති විඳි බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්ද බලය, වත්මන් පාලකයින් විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නමැති “කල්මරන මඩවළක” ගිල්වා ඇතැයි ප්‍රබල දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් චෝදනා කරති.
2017 වසරේ සිට ක්‍රමයෙන් මහජන නියෝජිතයින් අහිමි වූ පළාත් සභා, වර්තමානය වන විට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් නොව විධායකයේ අණසකට යටත් වූ “නිලධාරිවාදයේ අතකොලු” බවට පත්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
හිටපු ආණ්ඩුකාරවරුන්, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සහ දේශපාලන පක්ෂ නායකයින් රැසකගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ විශේෂ ලිපියක් මගින් මේ බව අවධාරණය කර ඇත.
ගමේ පාලනය තනි පක්ෂයක බුදලයක් වෙලාද?
පළාත් සභා පිහිටුවීමේ සැබෑ අරමුණ වූයේ බලය විමධ්‍යගත කර ජනතාවට සමීප පාලනයක් ලබා දීම වුවද, වසර ගණනාවක සිට මැතිවරණ කල් දැමීම නිසා ගමේ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත.
මේ වන විට පළාත් සභාවල දෛනික කටයුතු සඳහා මැදිහත් වන්නේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පා ර් ලි මේන්තු මන්ත්‍රීවරුන් පමණක් බවත්, එමගින් මෙරට ව්‍යවස්ථාවෙන් පිටත ගිය “තනි පක්ෂ ක්‍රමයක” අත්තනෝමතික පාලනයක් බිහිවෙමින් පවතින බවත් එම ලිපිය මගින් හෙළිදරව් කර තිබේ.
නිලයක් නැති ලේකම්වරු යාපනයේ සිට ඡන්දය තීරණය කරයි!
රජයේ හෝ රාජ්‍ය සේවයේ කිසිදු නිල තනතුරක් නොදරන, හුදෙක් පක්ෂ ලේකම්වරයෙකු පමණක් වන ටිල්වින් සිල්වා මහතා වැනි පුද්ගලයින් යාපනයේදී ප්‍රකාශ කරන්නේ මේ වසරේ පළාත් සභා ඡන්දය නොපවත්වන බවයි. බහුපක්ෂ ක්‍රමයේ මූලධර්මවලට පටහැනිව, කිසිදු නිල බලයක් නොමැති පුද්ගලයින්ට රටේ ජනතාවගේ ඡන්ද අයිතියේ අනාගතය තීරණය කිරීමට ඉඩ හැරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කිරීමක් බව ද මෙහිදී අවධාරණය කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලටත් පයින් ගසන පාලනයක්
චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සමයේ වයඹ පළාත් සභා මැතිවරණය කල් දැමීමට උත්සාහ කළ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දුව මෙම ලිපිය මගින් මතක් කර දී ඇත.
“ඡන්දයක් කල් දැමිය හැක්කේ ජනතාවගේ සෘජු කැමැත්තෙන්, එනම් ජනමත විචාරණයකින් පමණි. මැතිවරණ නිසි කලට නොපැවැත්වීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.”
වාක්‍ය දෙකක සංශෝධනයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් කල් අදින්නේ ඇයි?
රටේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ සියල්ලම පාහේ පැරණි දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට එකඟ වී ඇත. එවැනි තත්ත්වයක් තුළ, 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනතට “වාක්‍ය දෙකක” සරල සංශෝධනයක් එක් කර පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට පියවර නොගෙන, රජය තේරීම් කාරක සභාවලට මුවාවී සිටීම පිටුපස ඇති දේශපාලන කුමන්ත්‍රණය කුමක්දැයි සිවිල් සමාජය ප්‍රශ්න කර සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය පවතින්නේ ජනතාව සතුව බැවින්, කුමන හෝ දේශපාලනඥයෙකුට හෝ නිලධාරියෙකුට එයට බාධා කළ නොහැකි බව පවසන සෙන්දිල් තොන්ඩමන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ශාන් විජයලාල් ද සිල්වා, ටිකිරි කොබ්බෑකඩුව සහ රජිත් කීර්ති තෙන්නකෝන් ඇතුළු ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් රැසක් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස රජයට බල කර සිටිති.

