“ගෙදර බුදුන් අම්මාය” යන්න අප අතීතයේ සිටම හදවතින්ම පිළිගත් සත්‍යයකි. මවකගේ සෙනෙහස අග තැන්පත්ය. එහෙත්, ඒ උත්තරීතර කතාව තවත් අර්ථවත් කරමින්, “ගෙදර බුදුන් තාත්තාය” යන්න ලෙයින්, කඳුළින් සහ දහඩියෙන් මහ පොළොව මත සපථ කළ අපූරු පියෙකු අපට හමුවන්නේ ඓතිහාසික පොළොන්නරු පුරවරයෙනි.

තමන්ගේ සිරුරේ ජීවය රඳවන වකුගඩු යුගලයෙන් එකක් මරණයේ මුවවිටේ සිටි සිය 16 හැවිරිදි ආදරණීය පුතු වෙනුවෙන් දන් දී, ලාංකීය වෛද්‍ය ඉතිහාසය අලුත් කරන්නට දායක වූ මේ පිය සෙනෙහසේ මහා වෘත්තාන්තය, රටම හැඬවූ, රටේම ගෞරවය දිනාගත් සැබෑ ආදරයේ නිධානයයි.

කෝටි ගණනක බරක් නිදහස් කළ මවුපියන්ගේ “මහා නිධානය”රතුවන් වූ ලෙය කිරට හරවන කතාන්දරයකි.

කතාව ඇරඹෙන්නේ මින්නෙරිය අසිරිමත් ගම්මානයෙනි. ඒ නිවසේ දෑස් මෙන් හැදුණු වැඩුණු 16 හැවිරිදි පුතු, කලක සිට දරුණු වකුගඩු රෝගයකින් පීඩා වින්දේය. දිනෙන් දින වියැකී යන පුතුගේ ප්‍රාණය දෙස බලා මවුපියන් නොහඬපු දවසක් නොතිබුණි.

මින්නේරියේ සුන්දර පරිසරය මැද, ජීවිතයේ බර හිනැහෙමින් උසුලන ආදරණීය කැදැල්ලකි.

මහරත්මැල්ලෙන් ඇහෙන ආදරණීය කතාව සතකින්ම සුන්දරය.

පොළොන්නරුවේ මින්නේරිය වැව් දියෙන් සිසිල් වෙන, මහරත්මැල්ල කියන සුන්දර ගම්මානයේ ජීවත් වෙන මේ ඇත්තන්ගේ ජීවිතය හරිම නිහඬයි. ඒ වගේම ආදරණීයයි.

දේශය රකින්නට උපන් විරුවෙක් වගේම, තමන්ගේ කැදැල්ල රකින්නටත් දිවා රෑ වෙහෙසෙන කේ.කේ. සුනිල් ශාන්ත මහතා මේ පවුලේ මහා වෘක්ෂයයි. යුධ හමුදාවේ බටුහේන කඳවුරේ සේවය කරමින් ඔහු විඳින වෙහෙස නිවන්නේ, මුළු සංසාරයක් පුරා ඔහු ළඟින්ම හිඳින ආදරණීය බිරිඳ, රම්‍ය ශ්‍රියාණි අම්මාගේ දෑත්වල ඇති සෙනෙහසයි. 45 වන වියේ පසුවන මේ යුවළගේ ලෝකය හැඩවෙන්නේ ඔවුන් සතු ඒ අපූර්ව ආදරය නිසාවෙන්මයි.

කැදැල්ලට ආලෝකයක් වූ  පුතුන් තිදෙනෙකි. මේ සෙනෙහෙබර දෙමාපියන්ගේ ලෝකය තවත් අරුත්බර කරන්නේ ඔවුන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වූ පිරිමි දරුවන් තිදෙනායි.

තුෂිත සඳරුවන් (21) පවුලේ ලොකු පුතා ය. අම්මාටත් තාත්තාටත් ශක්තියක් වෙමින් ජීවිතයේ තාරුණ්‍යයට පා තබා ඇති ඔහු, මල්ලිලා දෙදෙනාට මඟ පෙන්වන සෙවනැල්ලයි.

ලසිත සඳරුවන් (16) පවුලේ දෙවැනි පුතු. ජීවිතය ජයගන්නට සිහින දකිමින්, මින්නේරිය නාවලකන්ද මහා විද්‍යාලයේ අකුරු කරන දඟකාර යොවුන් වියේ පසුවන්නෙක්.

ලක්ෂාන් සඳරුවන් (13) පවුලේ බඩපිස්සා. මුළු ගෙදරටම සිනහව අරන් එන, නාවලකන්ද මහා විද්‍යාලයේම ඉගෙනුම ලබන, අම්මාගේත් තාත්තාගේත් තුරුළේ තවමත් සුරතල් වෙන ආදරණීය බාල පුතු ය.

කාලය කෙමෙන් ගෙවී යද්දී, දහඩිය බිංදු මතින් දරුවන්ගේ අනාගතය රන්වන් කරන්නට වෙහෙසෙන තාත්තා කෙනෙකුත්, ඒ කැදැල්ල සෙනෙහසින් පුරවන අම්මා කෙනෙකුත් ඉන්න මේ පුංචි පවුල, අපේ හිත්වලට දෙන්නේ මහ වටිනා ආදර්ශයකි.

දුෂ්කරතා මැද වුවත් එකිනෙකාට ආදරය කරමින්, සිනහවෙන් පිරි වටපිටාවක හැදී වැඩෙන මේ දරුවන් තිදෙනා, මින්නේරිය නාවලකන්ද මහා විද්‍යාලයීය මාතාවටත්, මුළු රටටත් දිනෙක ආඩම්බරයක් වන බව නොඅනුමානයි!

“ජීවිතය සුන්දර වන්නේ මාලිගාවල නොව, ආදරය පිරි මෙවන් පුංචි කැදලි තුළයි.”

“අනේ මහත්තයෝ, දරුවාගේ අසනීපය දැනගත්තු දවසේ ඉඳන් අපිට ජීවිතේම එපා වෙලයි තිබුණේ. මේ වගේ ලෙඩකට බෙහෙත් කරන්න, සැත්කම් කරන්න කෝටි ගණන් සල්ලි යයි කියලා හැමෝම කිව්වා. අපිට කොහෙන්ද එච්චර සල්ලි? ඒත් පොළොන්නරුව වකුගඩු රෝහල ගැන දැනගෙන ආවට පස්සේ, සියලුම වෛද්‍ය ප්‍රතිකාර, සැත්කම සහ ඖෂධ ඇතුළු හැමදේම ඉතාමත් ආදරණීය සේවාවක් එක්ක අපිට නොමිලේම ලැබුණා…” ඒ, මේ අසිරිමත් සැත්කමෙන් පසු සතුටු කඳුළු සලන ඒ ආදරණීය මවගේ වදන්ය. දරුවෙකු යනු මවුපියන්ට මහා නිධානයක් වන අතර, ඒ නිධානය රැකගන්නට පියෙකු සතු ආදරයේ ගැඹුර මෙතෙකැයි කිව නොහැක.

පැය දෙකහමාරක ඓතිහාසික හාස්කම කළ අපේ කාලයේ සුවවිරුවන්ගේ කතාව ද සත්තකින්ම සුන්දරය.

වැඩිහිටි රෝගියෙකුට සිදුකරන වකුගඩු බද්ධයකට වඩා, වයස අවුරුදු 16ක දරුවෙකුට සිදුකරන වකුගඩු බද්ධය තාක්ෂණික මෙන්ම වෛද්‍ය විද්‍යාත්මක අතින් ද අතිශය අභියෝගාත්මක සහ සංකීර්ණ වූවකි. එකිනෙකට වෙනස් අතිශය අවදානම් සහගත ශල්‍යකර්ම දෙකක් (පියාගෙන් වකුගඩුව ලබාගැනීම සහ එය දරුවාට බද්ධ කිරීම) එකවර සිදුකළ යුතුව තිබුණි. මුළු රටකම වෛද්‍ය ක්ෂේත්‍රයේ අවධානය පොළොන්නරුව දෙසට යොමුව තිබූ ඒ තීරණාත්මක මොහොතේ, රෝහලේ දක්ෂ සුවවිරුවන් කණ්ඩායම සිය අසමසම හැකියාව ප්‍රදර්ශනය කළහ.

කිසිදු සංකූලතාවයකින් තොරව, පැය දෙකහමාරක් වැනි අතිශය කෙටි කාලයක් තුළ මෙම සැත්කම් ද්විත්වයම සියයට සියයක් සාර්ථකව නිම කිරීමට වෛද්‍යවරුන් සමත් විය. සැත්කමෙන් පසු පියා සහ දරුවා යන දෙදෙනාම මේ වන විට පූර්ණ සුවය ලබා සිටිති.

සත්තකින්ම වඩාත්ම සතුටුදායක පුවත වන්නේ, සිය වකුගඩුවක් දන් දුන් ඒ වීර පියා මේ වන විට සාමාන්‍ය පරිදි නැවත සිය රැකියා කටයුතුවල ද නිරත වෙමින් පවුල රැකබලා ගැනීමයි.

දරුවා ද නිරෝගී සුවයෙන් සිනහසෙමින් පසුවෙයි. “පියසෙනෙහසට කවි ගී කියැවුණා මදි” යන සුප්‍රකට ගීත ඛණ්ඩය අපට නැවත නැවතත් සිහිගන්වන්නේ මේ උත්තරීතර පරිත්‍යාගයයි.

මෙම ඓතිහාසික ජයග්‍රහණයේ නියමුවෝ කව්ද ?

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෘජු මඟ පෙන්වීම සහ උපදෙස් මත, මෙරට ළමා රෝහලකින් බැහැරව, පර්යන්ත රෝහලක සිදු කළ ප්‍රථම සහ අතිසංකීර්ණ ළමා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම මෙහෙයවූ සම්පත්දායක විශේෂඥ වෛද්‍ය කණ්ඩායම මෙසේය.

විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය – අධ්‍යක්ෂ, පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහල,විශේෂඥ වෛද්‍ය වෙනුජය බණ්ඩාර මහතා – ළමා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,විශේෂඥ වෛද්‍ය මනුජය ගොඩකන්දගේ මහතා – සනාල පටක, රුධිර වාහිනී හා වකුගඩු බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය,විශේෂඥ වෛද්‍ය ජීවක කුලතිස්ස මහතා – නිර්වින්දන විශේෂඥ වෛද්‍ය, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජීවක කුලතිස්ස මහතා සහ සනාල පටක විශේෂඥ වෛද්‍ය මනුජය ගොඩකන්දගේ මහතා ප්‍රකාශ කර සිටියේ කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීම නිසා කිසිදු සංකූලතාවයකින් තොරව දරුවා සහ පියා සූදානම් කරමින් මෙම අභියෝගය ජයගත් බවයි.

“වකුගඩු අමාරුව හැදුණා කියන්නේ මරණය නෙවෙයි!” මොකද් ද  මේ කතාව.

මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටම බලාපොරොත්තුවේ පණිවිඩයක් නිකුත් කරති.

2021 වසරේ විවෘත කරන ලද මෙම රෝහල තුළ, වකුගඩු රෝගීන්ට අවශ්‍ය රුධිර කාන්දුකරණය, රක්ත කාන්දුකරණය මෙන්ම අවයව බද්ධ කිරීමේ සියලුම අතිනවීන පහසුකම් ස්ථාපිත කර ඇත.

ළමා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය වෙනුජය බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, දරුවන්ගේ දීර්ඝකාලීන වකුගඩු අක්‍රිය වීමට ප්‍රධාන හේතුව සංජානනීය වකුගඩු සහ මූත්‍රා මාර්ගය ආශ්‍රිත ආබාධ බවයි.

2025 වසරේ මැද භාගයේ සිට මෙම රෝහල තුළ ළමා වකුගඩු බද්ධ කිරීමේ සේවාවන් නිල වශයෙන් අරඹා ඇති බැවින්, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින වකුගඩු රෝගී දරුවන්ට සහ වැඩිහිටියන්ට කිසිදු බියකින් හෝ සැකයකින් තොරව ප්‍රතිකාර සඳහා පොළොන්නරුවට පැමිණෙන ලෙස වෛද්‍ය කණ්ඩායම විවෘතව ඇරයුම් කර සිටිති.

අවසාන අවධියේ වකුගඩු අක්‍රිය වීමෙන් (End-Stage Renal Disease) පෙළෙන දරුවන්ට සාමාන්‍ය ජීවිතයක් ලබා දීම සඳහා මින් පෙර ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවලට යාමට සිදු වූ අතර, ඒ සඳහා රුපියල් කෝටි ගණනක අධික මුදලක් වැය විය.

එහෙත්, කොළඹ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල (LRH) සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලට අමතරව දැන් පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල තුළින් ද මෙම අතිසංකීර්ණ සැත්කම් සහ ඖෂධ සියල්ලම ශ්‍රී ලාංකේය දරුවන් වෙනුවෙන් මුළුමනින්ම නොමිලේ ලබා දීමට රජය කටයුතු යොදා ඇත.

මේ අපේ රටේ සුවවිරුවන්ගේ හෙදකම සහ වෙදකම එක්ව රටට කී ලස්සනම ආදරණීය කතාවයි.

මෙම සුවිශේෂී වෛද්‍ය හා මානුෂීය ජයග්‍රහණය පිළිබඳ තොරතුරු රට හමුවේ තැබීමට සහ මෙම විශේෂාංග ලිපිය සකස් කිරීමට දත්ත ලබා දෙමින් සුවිශේෂී සහයෝගයක් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතාට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු.

Share.
Leave A Reply