ලක්ෂ දෙකක විදුලි රටාවෙන් ලියැවෙන සහජීවනයේ මහා ජාතකය සිංහල,දෙමළ, මුස්ලිම් එකමුතුවෙන් කොළඹ අහස හැඩකරන ග්‍රෑන්ඩ්පාස් වෙසක් අසිරිය!

එකම යායට පෙළගැසුණු ලාංකීය අනන්‍යතාවය සමඟින් කීරපලා විකුණන කම්කරුවාගේ සිට මහා ධනපතියා දක්වා එකට එක්වූ කොස්ගස් හන්දියේ සහජීවනයේ වෙසක් සඳ යට සිට සුන්දර කතාව මෙන්න!

භේද පසෙක ලා වෙසක් සඳ යට එකතු වූ ශ්‍රී ලංකාව සියලු ආගම්වල මූලික හරය මහපොළොවේ යථාර්ථයක් කළ කොළඹ ග්‍රෑන්ඩ්පාස් මහා තොරන රාජයාගේ කතා වස්තුව මෙන්න.

තොරනක් නොව එය සහජීවනයේ කැඩපතකි. සිංහල, දෙමළ, මුස්ලිම් හදවත් එකට යා කළ කොස්ගස් හන්දියේ 55 වසරක අසිරිමත් වෙසක් පුරාණය සත්තකින්ම අගනේ ය.

සාමය, කරුණාව සහ දයාව ලොවට දෙසූ තථාගත බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල නිමිත්තෙන් මුළු මහත් ශ්‍රී ලංකාවම බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඇලළී යන මේ පින්බර වෙසක් සමයේ සමස්ත දේශයටම ආදර්ශයක් සපයන අසිරිමත් කථා පුවතක් කොළඹ කරළියෙන් වාර්තා වේ.

, වසර 60 ක් පුරා නොකඩවා ආගමික සාමය හා ජාතික සහජීවනයේ මහා ප්‍රාර්ථනාව මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන කොළඹ ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ මහා වෙසක් තොරනයි.

ස්වර්ණ තේතිය මාර්ගයෙන් ඇරඹී පසුව කොස්ගස් හන්දිය කේන්ද්‍ර කරගනිමින් අර්ධ ශතවර්ෂයකට අධික කාලයක් මුළුල්ලේ ජනතා සිත් සතන් ප්‍රඥාවෙන් හා කලාවෙන් ආලෝකමත් කළ මෙම මහා තොරන රාජයා මෙවර මැයි 30 වනදා සිට පුරා දින හතක් මුළුල්ලේ කොළඹ අහස යට විකසිත වීමට නියමිතය.

ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී වෛශාඛ්‍ය සම්බුද්ධාලෝක තොරන සමිතිය විසින් සංවිධානය කරනු ලබන මෙම වෙසක් කලාපය හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොවේ. එය ලාංකීය ජාතික සමගියේ කැඩපතකි. රටකට ආදර්ශයක් දිය හැකි සුවිශේෂී ආගමික සහජීවනයක් මෙහි දැකගත හැක්කේ එහි පාලන ව්‍යුහය දෙස බලන විටය.

මෙම සමිතියේ වත්මන් නායකත්වය ගනිමින් සභාපති ඔෂධ වික්‍රමාරච්චි මහතා සහ ලේකම් ආර්.ඒ.ටී. වරාගොඩ මහතා කටයුතු කරන අතර, එහි භාණ්ඩාගාරික ධූරය හොබවන්නේ සුප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාරිකයකු වන මොහොමඩ් රිකාෂ් මහතාය. සමිතියේ සමස්ත සංවිධාන ශක්තිය පිටුපස සිටින්නේ රෙජිනෝල්ට් ඇන්තනි මහතාය. බෞද්ධ උත්සවයක මූල්‍ය පරිපාලනය මුස්ලිම් සහෝදරයෙකු අතින් සහ සංවිධාන කටයුතු කිතුනු සහෝදරයෙකු අතින් සිදු වීමම, අප සැබවින්ම සෙවිය යුතු සැබෑ ලාංකීය අනන්‍යතාවය නොවේද?

මෙහි ඇති සුවිශේෂී අනුශාසක මණ්ඩලය සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකයන්ගෙන් මෙන්ම බුද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ කතෝලික යන සියලුම ආගමික නායකයන්ගේ උපදෙස් හා අනුශාසනා මත සමන්විත වූවකි.

මහා සංඝරත්නය නියෝජනය කරමින් පූජ්‍ය තිබ්බටුවාවේ දීපානන්ද හිමි, පූජ්‍ය මැටරඹ ධම්මාතිලක හිමි සහ පූජ්‍ය බෝපපැලැස්සේ අනුරුද්ධ හිමි ඇතුළු මහා සඟරුවන මෙයට ආශිර්වාදය සපයති.

එමෙන්ම මෙයට නායකත්වය සහ ශක්තිය සපයන ගිහි අනුශාසක මණ්ඩලය දේශයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රභූන්ගෙන් සමන්විතය.

කේ.ඒම්.ඒස් හේරත් මහතා (ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති),චාමික ගොඩකන්ද මහතා (නයිඩ් හාස් සමූහ ව්‍යාපාරයේ අධිපති),අනුර සුදුසිංහ මහතා (සියාරා බේකර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති), සුනිල් සමරකෝන් මහතා (ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ හිටපු රථවාහන ස්ථානාධිපති), සුනිල් අමරතුංග මහතා (ව්‍යාපාරික),ජයතිස්ස හෙට්ටිආරච්චි මහතා (ව්‍යාපාරික),ආර්.ඒම්.ඒස් වරාගොඩ මහතා (ව්‍යාපාරික),එෆ්.ඩී. කොන්සි පෙරේරා මහත්මිය,ඒ.ටී. ආරියපාල මහතා (මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී),කාන්ත හේවාවිතරණ මහතා (ව්‍යාපාරික),ගාමිණි විජිත හෙට්ටිආරච්චි මහතා (ව්‍යාපාරික),රුවන් ප්‍රදීප් කුමාර මහතා (ව්‍යාපාරික) ආදි ව්‍යාපරික පිරිසකි.

මෙවර කොස්ගස් හන්දිය ඒකාලෝක කරමින් නැඟී සිටින මහා තොරන රාජයා උසින් අඩි 65ක් සහ පළලින් අඩි 55කින් යුක්තය. මෙවර තොරන සඳහා වස්තු විෂය වී ඇත්තේ සුන්දර මනරම් රසවිතකින් පිරි “සමුද්‍ර වාණිජ ජාතක කතාවයි”.

මෙම මහා කලා නිර්මාණය පිටුපස දේශීය කලාකරුවන් රැසකගේ ශ්‍රමය හා ප්‍රතිභාව සැඟවී තිබේ. තොරනේ මනරම් චිත්‍ර රාමු පෙළ සකස් කර ඇත්තේ ජාඇල ආනන්ද ජයලත් ශිල්පියා විසිනි. එහි කටු තොරන සැකසුම චන්ද්‍රසිරි මහතා විසින් සිදු කර ඇති අතර, තොරන රාජයාගේ මුළු කතාවම, තිර පිටපත සහ දෙබස් රසවත්ව නිමවා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු නාට්‍ය හා කලා අංශ ප්‍රධානි මර්වින් සේනාරත්න මහතාගේ දියණිය වූ සේනානි සේනාරත්න මහත්මියයි.

මෙම තොරනේ ඇති සුවිශේෂී තාක්ෂණික පෙරළිය වන්නේ විදුලි බල්බ ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් පරිගණක තාක්ෂණයෙන් හැසිරවීමයි. නාරම්වල සුසන්න ජයකොඩි ශිල්පියාගේ දෑතින් විකසිත වූ විදුලි ආලෝක රටා, 60%ක විදුලිය පිරිමසන ආකාරයට කලාත්මකව නිමවා ඇත.

විනාඩියෙන් විනාඩියට වෙනස් වන,සිත ගත සමාධිගත කරවන විවිධ ආලෝක රටා 300කට අධික සංඛ්‍යාවක් දින හත පුරාම ප්‍රදර්ශනය කෙරේ.

තවද, පරිසර හිතකාමී සංකල්පයක් පෙරදැරිව, මීට පෙර අඩි 50කට වඩා උස පුවක් ගස් 275ක් පමණ කැපූ තැනට, වසර 10ක සිට අද දක්වා G.I. පයිප්ප 600ක් යොදා ගනිමින් මෙම තොරණ කටු සැකිල්ල නිර්මාණය කිරීම පරිසරයට කරන මහඟු සේවයකි.

මෙම සිත ගත නිවන ආලෝක පූජාව දැකබලා ගැනීමට සහ සහසම්බන්ධ වීමට මෙරට දේශපාලන, ආරක්ෂක මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආරාධිත පිරිසක් පැමිණීමට නියමිතය.

ඒ අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, හිටපු හමුදාපති සරත් පොන්සේකා, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ සහ ඇග්‍රෝවෙන්චර්ස් ප්ලාන්ටේෂන් සමූහ ව්‍යාපාරයේ නිලංග කරුණාරත්න මහතා ඇතුළු ලංකාවේ නමගිය තරු, විද්වතුන් සහ ව්‍යාපාරිකයන් රැසක් මෙවර කොස්ගස් හන්දිය වෙසක් කලාපයට පියනඟනු ඇත.

මෙම මහා කාර්යභාරය සාර්ථක කර ගැනීම සඳහා කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, මහජන බැංකුව, සහ ශ්‍රී ලංකා පොලීසිය රාජ්‍ය මට්ටමින් දායකත්වය සපයයි. එමෙන්ම නගරයේ ව්‍යාපාරික ප්‍රජාව, ත්‍රිරෝද රථ රියදුරන් මෙන්ම දිනපතා නගරයට යන එන වාහනවල රියදුරන් දක්වන සහයෝගය අතිමහත්ය.

ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ වෙසක් අසිරිය පූර්ණ වන්නේ නගරයේ ජීවත්වන අහිංසක, දුප්පත් කීරපලා විකුණන කම්කරුවාගේ සිට මහා ධනපති ව්‍යාපාරිකයා දක්වා වූ සැමගේම එකමුතුවෙනි.

බත්, සිසිල් බීම ඇතුළු විවිධ දන්සැල්වලින් සන්නද්ධ වූ, කවියෙන්, විරිදුවෙන්, හිටිවන කවියෙන් සහ රබන් සුරල් හඬින් පෝෂිත වූ මේ වෙසක් කලාපය, නූතන තාක්ෂණයේ ශබ්ද හා ආලෝක ධාරා මැදින් වෙසක් සඳ සමඟින් කොළඹ අහස සිප ගනී.

ජාති, ආගම්, කුලමල භේද පසෙක ලා, සිංහල, මුස්ලිම්, දෙමළ සියලු දෙනා වෙසක් කූඩු, සැරසිලි සහ වෙසක් කොඩිවලින් මුළු නගරයම සරසන මේ දසුන මුළු රටටම කියා දෙන්නේ එකම පාඩමකි.

එකම ආගමක්, එකම රටක්, එකම ලාංකීය ජාතියක්” ලෙස එක යායට පෙළගැසීමේ සුන්දරත්වයයි. ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියෙන් නැගෙන ඒ සහජීවනයේ ආලෝකය මුළු ශ්‍රී ලංකාවම ඒකාලෝක කරත්වා! යැයි රතුඉර පුවත් පත සටහන් කරමු .

සටහන හා ඡායාරූප නිමල් අල්ගෙවත්ත, නන්ද කුමාර හිංනිආරච්චිගෙනි.

Share.
Leave A Reply