රතු නිවේදන ලාභී “ඩුබායි පාතාලයා” කොටු වෙයි: බොරැල්ලේ වසා දැමූ නිවසකින් රිවෝල්වර් 02ක් සහ පතොරොම් මතු වෙයි!

කොළඹ: ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු මෙරටදී අත්අඩංගුවට ගත්, ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම් මත බොරැල්ල ප්‍රදේශයේ වසා දමා තිබූ නිවසක වළදමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් අවි දෙකක් සහ මිලිමීටර් 09 වර්ගයේ ජීව පතොරොම් 04ක් සොයා ගැනීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සමත්ව ඇත.

පසුගිය 2025 අගෝස්තු 07 වන දින බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර, තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ ද්විත්ව මිනිස් ඝාතනයේ ප්‍රධාන මෙහෙයුම්කරු මෙම සැකකරු බව පොලිසිය පවසයි. දැනට රැඳවුම් නියෝග මත සිටින මෙම සැකකරුගෙන් ලද තොරතුරු මත අපරාධයට යොදාගත් යතුරුපැදිය ඉංගිරියෙන් සොයාගෙන ඇති අතර, වෙඩික්කරුට ගිනිඅවිය ගෙනවිත් දුන් බව කියන මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක ද විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (25) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

02. පුවත

“දේශබන්දුට එරෙහි අධිචෝදනා ලෑස්තියි” – මාසයක් ඇතුළත නඩු පවරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි!

කොළඹ: 2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමසාමකාමී අරගලයට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම සිදුවීමේ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස දන්වමින් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යැවූ ලිපියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ ඇපෑලක් කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රකාශය කෙරිණි. ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මේ බව සනාථ කළාය. විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙවැනි තත්ත්වයක් තුළ නඩුකරය පවත්වාගෙන යාම පලක් නොවන බව තර්ක කළ අතර, කරුණු සලකා බැලූ උසස් අධිකරණය පෙත්සම යළි සැප්තැම්බර් මස 02 වනදා කැඳවීමට නියෝග කළේය.

03. පුවත

ලාඕසයේ මඩ පිරුණු බිහිසුණු භූගත ගුහාවක සිරවූ 07 දෙනෙකු බේරාගන්න “තායිලන්ත ලෝක ප්‍රකට මුදාගැනීමේ වීරයන්” යළිත් මෙහෙයුමකට බසී!

විදේශ: ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් පළාතේ පිහිටි, සෙන්ටිමීටර 50ක් (අඟල් 20ක්) තරම් අතිශය පටු භූගත ගුහාවක් තුළ සතියකට ආසන්න කාලයක් සිරවී සිටින ජීවිත හතක් මුදාගැනීම සඳහා ලාඕස් සහ තායි සහන සේවා අංශ ඒකාබද්ධව මහා පරිමාණ බිහිසුණු මෙහෙයුමක නිරත වෙමින් සිටිති.

පසුගිය බදාදා රන් සහ වනජීවීන් සෙවීම සඳහා ගම්වැසියන් පිරිසක් මෙම ගුහාවට ඇතුළු වී ඇති අතර, ඉන් අනතුරුව ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ සිදුවූ නායයෑම් හේතුවෙන් එහි දොරටුව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත. දැනට මඩ සහිත ජලයෙන් යටවී ඇති මෙම අනතුරුදායක ගුහා පද්ධතිය තුළ කෙරෙන මෙහෙයුම සඳහා, 2018 වසරේ තායිලන්තයේ “තම් ලුඇන්ග්” ගුහාවේ සිරවූ කුඩා දරුවන් බේරාගත් ලෝක ප්‍රකට විශේෂඥ කිමිදුම්කරුවන් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයකි. දිවා රෑ නොබලා ජලය පිටතට පොම්ප කරන මුදාගැනීමේ කණ්ඩායම් පවසන්නේ, මෙතෙක් සිරවූවන්ගෙන් ජීවමාන සලකුණක් ලැබී නැතත් ඔවුන් සිටින ස්ථානයට තමන් මීටර 20ක් තරම් සමීප වී ඇති බවයි.

04. පුවත

වව්නතිව්හිදී 63 හැවිරිදි පියෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කරයි: බිරිඳ දියණියගේ නිවසට ගිය අතරේ සිදුවූ අභිරහස් අපරාධය!

මඩකලපුව: මඩකලපුව, වව්නතිව් පොලිස් වසමට අයත් පාචක්කොඩිචේන ප්‍රදේශයේ පිහිටි නිවසක් අසලදී 63 හැවිරිදි පුද්ගලයෙකු අමානුෂික පහරදීමකට ලක්ව ඝාතනය වී සිටියදී (25) උදෑසන සොයාගෙන ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නෙරියමඩු ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

මරණකරු සහ ඔහුගේ බිරිඳ අදාළ නිවසේ පදිංචිව සිට ඇති අතර, ඉකුත් 24 වනදා සවස බිරිඳ සිය දියණියගේ නිවසට ගොස් තිබේ. ඇය 25  උදෑසන නැවත නිවසට පැමිණීමේදී සිය සැමියා ඝාතනය කර දමා තිබෙන අයුරු දැක වව්නතිව් පොලිසියට පැමිණිලි කර ඇත. මෙම අභිරහස් ඝාතනයට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සහ මඩකලපුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් ලීලාරත්න මහතාගේ උපදෙස් මත වව්නතිව් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා ඇතුළු කණ්ඩායමක් පුළුල් විමර්ශන අරඹා ඇත.

Share.
Leave A Reply