රට නැවත වරක් බංකොලොත් වීමේ බරපතල අවදානමක් මතුව ඇති බැවින්, රජය උද්දච්ච නොවී වහාම අනුප්‍රාප්තික (Successor) IMF ගිවිසුමකට යොමු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති හමුවකදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.

එහිදී විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසීය.

රජය සතුව ඩොලර් බිලියන 7ක සංචිත ඇති බව පැවසුවද, එහි ඇති චීන යුආන් භාවිත කළ නොහැකි බැවින් සැබෑ සංචිත ප්‍රමාණය ඊට වඩා අඩුය. රටේ මාසික ආනයන වියදම ඩොලර් බිලියන 2ක් වන අතර, ජාත්‍යන්තරව පිළිගත් මාස 3ක ආනයන ආවරණයක් රට සතුව නොමැත.

මැදපෙරදිග යුද වාතාවරණය දිගු වුවහොත් විදේශ ප්‍රේෂණ කඩා වැටීමේ අවදානමක් පවතී. එමෙන්ම 2027 මාර්තු මාසයෙන් වත්මන් IMF ගිවිසුම අවසන් වන අතර, 2028 වන විට වාර්ෂික විදේශ ණය ගෙවීම් ඩොලර් බිලියන 2.5 සිට 3.5 දක්වා ඉහළ යයි.

ණය ශ්‍රේණිගත කිරීම් කඩා වැටීම සහ තෙල් මිල ඉහළ යාම හමුවේ රට යළිත් කඩාවැටීම වැළැක්වීමට නම්, බොරු ප්‍රචාර නතර කර ජනතාවට පොරොන්දු වූ පරිදි “ජනතාවාදී නව IMF ගිවිසුමකට” වහාම එළඹිය යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Share.
Leave A Reply