රැකියා දෙන සමාගම්වලට මාස 24ක වැටුප් සහන: මිලියන 500ක ‘Next Dream’ ව්‍යාපෘතිය ඇරඹේ!

ආබාධ සහිත තරුණ පරපුරට ආර්ථික අභිමානය දෙන ‘Next Dream’ විප්ලවය මැයි 22 දා සෙත්සිරිපායෙන්!

වැටුපෙන් 50%ක් රජයෙන්: ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් පෞද්ගලික අංශයට ලොකුම දිරිගැන්වීම!

ආබාධ සහිත 5000කට පෞද්ගලික අංශයෙන් රැකියා!

වැටුපෙන් 50%ක් රජයෙන් ගෙවයි!

රුපියල් මිලියන 500ක ‘Next Dream’ මහා ව්‍යාපෘතිය 22 දා ඇරඹේ!

කොළඹ, මැයි 20: ආබාධ සහිත පුද්ගලයන් සක්‍රීය ලෙස ජාතික ආර්ථිකයට දායක කරගැනීම සහ ඔවුන් වෙනුවෙන් පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා පුළුල් කිරීම ඉලක්ක කරගත් දැවැන්ත සහන වැඩසටහනක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

2026 අයවැය යෝජනාවලට අනුව රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කරමින් ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ, ආබාධ සහිත පුද්ගලයන් සේවයේ යොදවන පෞද්ගලික ආයතන වෙත දිරිගැන්වීම් රැසක් හිමි වේ. ඒ අනුව, සේවයේ නියුතු ආබාධ සහිත තැනැත්තෙකුගේ වැටුපෙන් 50%ක ප්‍රතිශතයක් (මසකට උපරිම රුපියල් 15,000කට යටත්ව) මාස 24ක් යනතුරු වැටුප් සහනාධාරයක් ලෙස පෞද්ගලික ආයතන වෙත සෘජුවම ලබා දීමට රජය පියවර ගෙන ඇත.

මෙමඟින් මෙරට ආබාධ සහිත තැනැත්තන් 5000කට ආසන්න පිරිසකට ස්ථාවර රැකියා හිමිවන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

Next Dream” සමාරම්භය සෙත්සිරිපායේදී

රැකියා අපේක්ෂිත ආබාධ සහිත තැනැත්තන්ගේ තොරතුරු සහ ඔවුන්ට රැකියා ලබාදීමට කැමැත්ත පළ කරන පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් ලියාපදිංචි කිරීමේ ජාතික මහෝත්සවය සහ “Next Dream” වැඩසටහන නිල වශයෙන් හඳුන්වා දීම එළඹෙන මැයි 22 වන සිකුරාදා පස්වරු 2.00 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

බත්තරමුල්ල, සෙත්සිරිපාය (I වන පියවර) පිහිටි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් ශ්‍රවණාගාරයේදී (C කොටස, 1 වන මහල) මෙම උත්සවය පැවැත්වෙන්නේ විෂය භාර අමාත්‍ය ගරු උපාලි පන්නිලගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.රටේ ශ්‍රම බලකායෙන් මෙතෙක් අත්හැර දමා තිබූ සුවිශේෂී පිරිසකට ආර්ථික නිදහස සහ අභිමානය ළඟා කර දෙන, සමාජ ආරක්ෂණය තහවුරු කරන හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මෙම “Next Dream” වැඩසටහන ඉතිහාසයට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ

Share.
Leave A Reply