“පිළිකාවෙන් මිදෙන දරුවන්ට අංග සම්පූර්ණ ජීවිතයක් දීම සැමගේ වගකීමක්” සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
2030 වසර වන විට ලොව පුරා ළමා පිළිකා රෝගීන්ගේ දිවි ගලවා ගැනීමේ අනුපාතය අවම වශයෙන් 60% දක්වා ඉහළ නැංවීමට ලෝක සෞඛ්‍ය නායකයෝ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ප්‍රතිඥා දෙති.
“One world for Health” යන තේමාව යටතේ ජිනීවා හිදී ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට (WHA79) සමගාමීව පැවැත්වුණු ළමා පිළිකා මර්දනය පිළිබඳ විශේෂ සැසියේදී මෙම තීරණයට එළඹ ඇත. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ළමා පිළිකා පිළිබඳ නවතම ගෝලීය වාර්තාව ද එළිදක්වන ලදී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම විශේෂ සැසිය ඇමතීය.
එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ළමා පිළිකා මර්දනයේ සැබෑ මිනුම දරුවන් ජීවිතය රැකගන්නා සංඛ්‍යාව පමණක් නොව, ඔවුන් සුවය ලැබූ පසු ජීවත් වන ආකාරය බවයි. පිළිකාවෙන් මිදෙන සෑම දරුවෙකුටම සෞඛ්‍ය සම්පන්න, ගෞරවනීය සහ අංග සම්පූර්ණ ජීවිතයක් ලබා දීම සාමුහික වගකීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
පිළිකාවෙන් සුවය ලබන දරුවන්ට පසුකාලීනව ඇති විය හැකි හෘද රෝග, මානසික සහ ප්‍රජනන සෞඛ්‍ය ගැටලු වැනි දිගුකාලීන අභියෝග ජය ගැනීමට ජීවිත කාලය පුරාම දිවෙන අඛණ්ඩ සත්කාර පද්ධතියක් අවශ්‍ය බවත්, ලංකාවේ පවතින නිදහස් සෞඛ්‍ය ක්‍රමය සහ නව ‘ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන’ හරහා ප්‍රජා මට්ටමින් එම රැකවරණය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම සමුළුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටිති.

