ත්‍රස්තවාදී අරමුදල් මර්දන පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවෙයි!

ගිණුම් අත්හිටුවීම් සහ රහසිගත පරීක්ෂණ ව්‍යවස්ථාවට අනුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්!

ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද නව පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. 

“2026 අංක… දරන ත්‍රස්තවාදයට මුදල් සැපයීම මර්දනය කිරීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත” (Convention on the Suppression of Terrorist Financing (Amendment) Bill) සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව, අගවිනිසුරු පී. පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ කේ.එම්.ජී.එච්. කුලතුංග යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.  පෙත්සම්කරුවන්ගේ විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA), අම්බිකා සත්කුනනාදන්, වෘත්තීය සමිති නායිකා ස්වස්තිකා අරුලිංගම් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව යන මහත්ම මහත්මීන් විසින් මෙම පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණි.

පනතේ අඩංගු ඇතැම් ප්‍රතිපාදන මඟින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, එබැවින් මෙය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවත් පෙත්සම්කරුවන් තර්ක කළහ.  නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එම සියලු තර්ක ප්‍රතික්ෂේප කර ඇත. 

නඩු තීන්දුවේ ප්‍රධාන කරුණු:’ත්‍රස්තවාදී පුහුණුව’ (Terrorist Training) යන්න පැහැදිලි නැති බවට වූ තර්කය:

පනත් කෙටුම්පතේ ‘ත්‍රස්තවාදී පුහුණුව’ යන්න නිවැරදිව අර්ථ දක්වා නොමැති බැවින් පොලිසිය ඇතුළු විධායකයට එය තමන්ට අවශ්‍ය පරිදි අත්තනෝමතික ලෙස අර්ථකථනය කළ හැකි බව පෙත්සම්කරුවන් පැවසීය. එහෙත්, ප්‍රධාන පනතේ ‘ත්‍රස්තවාදී ක්‍රියාවන්’ යන්න පැහැදිලිව දක්වා ඇති බැවින්, මෙම පුහුණුව යන්නෙන් අදහස් වන්නේද ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකිරීම සඳහා වන පුහුණුවක්ම බව පැහැදිලි යැයි අධිකරණය පෙන්වා දුන්නේය.  ගිණුම් සහ දේපළ අත්හිටුවීමේ (Freezing Orders) කාලය දීර්ඝ කිරීම:

පොලිස් නිලධාරීන්ට සැකකටයුතු දේපළක් හෝ අරමුදලක් දින 7ක් වෙනුවට දින 14ක් දක්වා තාවකාලිකව අත්හිටුවීමට (Freeze) නව සංශෝධනයෙන් බලය ලැබේ. එමෙන්ම මහාධිකරණය මඟින් එම කාලය වරකට මාස 3ක් වෙනුවට මාස 6ක් දක්වා දීර්ඝ කිරීමට ලබා දී ඇති අවසරය, දෛනික ජීවනෝපායට බාධාවක් වන බව පෙත්සම්කරුවන් තර්ක කළද, උපරිම සමස්ත කාලය වසර දෙකක් ලෙස නොවෙනස්ව පවතින බැවින් එය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව අධිකරණය තීරණය කළේය.  රහසිගත පරීක්ෂණ ක්‍රමවේද (Undercover & Surveillance):

වීඩියෝ සහ ශ්‍රව්‍ය පටිගත කිරීම්, පරිගණක දත්ත පරීක්ෂාව, රහසිගත මෙහෙයුම් (Undercover operations) සහ සවන්දීමේ උපකරණ (Listening devices) භාවිතය වැනි නවීන පරීක්ෂණ ක්‍රමවේද මඟින් පුද්ගල රහස්‍යභාවය උල්ලංඝනය වන බවට නැඟුණු චෝදනා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මෙවැනි ක්‍රමවේද මෙරට පරීක්ෂකයන් දීර්ඝ කාලයක සිට සාර්ථකව භාවිත කරන බවත්, මේ සඳහා මහේස්ත්‍රාත්වරයෙකුගේ අධිකරණ අධීක්ෂණය සහ පූර්ව අවසරය (Judicial supervision) අනිවාර්ය කර ඇති බැවින් පොලිස් බලතල අත්තනෝමතික ලෙස භාවිත වීමේ අවදානමක් නැති බවත් තීන්දුවේ සඳහන් වේ. 

අතථ්‍ය වත්කම් (Virtual Assets) සහ නීතිවිරෝධී මුදල්:

කාලීන අවශ්‍යතාවයක් ලෙස, ත්‍රස්තවාදීන් අරමුදල් රැස් කරන විවිධ විද්‍යුත් ක්‍රමවේද සහ ක්‍රිප්ටෝ වැනි අතථ්‍ය වත්කම් (Virtual Assets) මෙන්ම නීත්‍යානුකූල නොවන ලෙස උපයාගත් දේපළද “වත්කම් සහ අරමුදල්” යන පුළුල් අර්ථකථනයට ඇතුළත් කිරීමට නව පනතින් පියවර ගෙන ඇත. ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාව බැඳී සිටින වගකීම් ඉටුකිරීමට මෙම ප්‍රතිපාදන අත්‍යවශ්‍ය බව අධිකරණයේ මතයයි.

මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ත්‍රස්තවාදී අරමුදල් ජාලයන් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ආ නව නීතිමය සංශෝධන, සාමාන්‍ය බහුතර ඡන්දයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට දැන් පූර්ණ නීතිමය අවසරය හිමිව තිබේ.   

Share.
Leave A Reply