ලෙයින් ලියූ නිදහස මල්දමින් සරසමු – ජනපති ප්‍රධානත්වයෙන් රණවිරු අනුස්මරණය 19 වන දින පස්වරුවේ!

මව්බිමේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිතය පූජා කළ දහස් සංඛ්‍යාත විරුවන්ගේ සදාකාලික මතකය අභිමානයෙන් යුතුව අලුත් කරන ‘ජාතික රණවිරු දින’ ප්‍රධාන සැමරුම් උත්සවය (19) දින පස්වරු 3.00ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

මෙවර සැමරුම සුවිශේෂී වන්නේ රාජ්‍ය ගෞරවය මෙන්ම රණවිරු පවුල්වල සෘජු දායකත්වය පෙර නොවූ විරූ අයුරින් මෙයට එක්කර තිබීම හේතුවෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙල සඳහා යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායන් නියෝජනය කරමින් නිලධාරීන් සහ පවුල්වල ඥාතීන් ඇතුළු 2,769 දෙනෙකු සහභාගී වීමට නියමිතය.

මෙවර උළෙලේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරමින් ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරු පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ජාතික සැමරුමට එක්වීමයි.

එය සමස්ත ලාංකේය ජාතියේම එකමුතුකම විදහාපාන ප්‍රබල සන්දේශයක් වනු ඇතැයි රණවිරු සේවා අධිකාරිය පවසයි.

වසර ගණනාවකට පසු පළමු වතාවට, දිවිපිදූ රණවිරුවන්ගේ මව්පියන් 160 දෙනෙකුට රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් සමඟ රණවිරු ස්මාරකය වෙත ගොස් සිය දරුවන් වෙනුවෙන් මල් කළඹ පූජා කිරීමට විශේෂ අවස්ථාවක් වෙන්කර ඇත. තමන් වැදූ දරුවා දැයට දුන් උතුම් පරිත්‍යාගය වෙනුවෙන් එම දෙමාපියන්ට ජාතියේ උත්තමාචාරය හිමිවන සංවේදීම අවස්ථාව මෙය වනු නොඅනුමානය.

අද දිනය හුදෙක් සැමරුමක් පමණක් නොවේ. එය අප භුක්ති විඳින නිදහස වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ අසහාය මිනිසුන් වෙනුවෙන් සමස්ත දේශයම එකා මෙන් නැගී සිටින අවස්ථාවකි යැයි රණවිරු සේවා අධිකාරියේ සභාපති  බ්‍රිගේඩියර් එස්.බී. කොහොන (විශ්‍රාමික)  මහතා පැවසීය.

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දැල්වෙන පහන් සිලුවකින් සහ පිපෙන මල් දමකින් කියැවෙන්නේ මියගිය ද නොමියෙන ඒ වීරත්වයේ නොනිමි අභිමනයයි.

Share.
Leave A Reply