ශ්‍රී ලංකාව යනු හුදෙක් සිනහවෙන් පිරි මිනිසුන් සිටින රටක් පමණක් නොව, මියගිය පසුවද ලෝකයටම දෑස් දන් දෙන පින්බිමක් බව අද වන විට ජාත්‍යන්තරය හමුවේ යළිත් තහවුරු වී තිබේ. 2011 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව සිය 15 වසරක අභිමානවත් සේවා කාලය සැමරීම පසුගියදා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

පසුගිය වසර 15 ක කාලය තුළ අක්ෂි බැංකුව ලබා ඇති ජයග්‍රහණ ලොව ඕනෑම දියුණු රටක් මවිතයට පත් කරන සුළුය. ඒ අනුව:

ගතවූ කාලය තුළ එකතු කර ඇති මුළු අක්ෂි කුණිත ප්‍රමාණය 17,000 කට අධිකය.

ඉන් කුණිත 12,000 ක්ම මෙරට අසරණ රෝගීන්ගේ ඇස් පෙනීම ලබා දීම වෙනුවෙන් සාර්ථකව බද්ධ කර ඇත.

අන්තර්ජාතික ඉල්ලීම පරිදි සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව ඇතුළු ආසියානු රටවල් සඳහා කුණිත 4,000 – 4,500 ත් අතර ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබීම ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ගෞරවයකි.

මෙම වාර්තාවල ඇති සුවිශේෂීම කරුණ වන්නේ මෙරට ජීවත් වන ජනතාවගෙන් 84% ක් මියගිය පසු තම දෑස් දන් දීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී තිබීමයි. මෙය ලෝකයේ වෙනත් කිසිදු රටක දැකිය නොහැකි උතුම් මානුෂීය ලක්ෂණයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, අක්ෂි බැංකුව මේ වන විට “ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරය” ලෙස පනතක් මගින් නීතිගත කර වඩාත් විධිමත් සේවාවකට අවතීර්ණ වී ඇති බව අවධාරණය කෙරිණි.

මෙහිදී මෙම මහඟු සේවාවේ නිර්මාතෘ, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චරිත් ෆෝන්සේකා මහතා වෙත විශේෂ ප්‍රණාමයක් පිරිනැමුණු අතර, දෑස් පරිත්‍යාග කළ පවුල්වල සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලය ඇගයීමටද පියවර ගැනුණි.

අඳුරේ සිටින දහස් ගණනකට නව ලොවක් දකින්නට මග පෙන්වන ජාතික අක්ෂි බැංකුව, අද වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව, මානව දයාවේ ජාත්‍යන්තර සලකුණ බවටද පත්ව තිබේ.

Share.
Leave A Reply