මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ තෝරාගත් පාසල් 100ක් සඳහා සුහුරු පන්තිකාමර (Smart Classrooms) ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. එහි පළමු අදියර යටතේ පාසල් 50ක් සඳහා පහසුකම් සැලසීමට නියමිතය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඇය මෙසේද කීවාය.

දිවයිනේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20ම මූලික කරගනිමින්, වාර්ෂිකව පුහුණුව ලබන ගුරු සිසුන් 6,000ක් නවීන ඩිජිටල් තාක්ෂණයට හුරු කිරීම අනිවාර්ය කෙරේ.

අධ්‍යාපන පද්ධතියේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ වසර 05ක උපායමාර්ගික සැලැස්ම ඉදිරි කෙටි කාලය තුළ අවසන් කර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජාත්‍යන්තර රොටරි සමාජයේ සහාය ඇතිව කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය යොදාගනිමින් ‘ඊ-තක්සලාව’ පද්ධතියේ අන්තර්ගතයන් ප්‍රමිතියෙන් යුතුව සංවර්ධනය කෙරේ.

මෙම ව්‍යාපෘතිය හුදෙක් උපකරණ ලබාදීමට පමණක් සීමා නොවී, ගුණාත්මක ඩිජිටල් අන්තර්ගතයන් සහ ක්‍රමවත් ගුරු පුහුණුව හරහා පාසල් පද්ධතියේ සැබෑ වෙනසක් ඇති කිරීම අරමුණ බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

Share.
Leave A Reply