දේශීය ව්‍යවසායකයා බංකොලොත් කර විදුලි බිල යළි ඉහළට? විදුලි නිෂ්පාදකයන්ගේ මුදල් නොගෙවීමෙන් 50,000කගේ රැකියා අවදානමක!

2030 ඉලක්කය හිස් ප්‍රකාශයක් පමණක්ද? පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මරා දමන බිලියන 10අර්බුදය ගැන විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය හෙළි කරයි,!

ලංකාවේ විදුලි බලයට එල්ල වන දැවැන්තම ප්‍රහාරය: දේශීය ව්‍යවසායකයා විනාශ කරන විදුලි මාෆියාවකපෙරනිමිති?!

රජය විසින් පුද්ගලික ව්‍යවසායකයන්ගෙන් ලබාගත් පුනර්ජනනීය විදුලිය සඳහා රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙරට බලශක්ති ක්ෂේත්‍රය පෙර නොවූ විරූ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අනතුරු අඟවයි.

මෙම මුදල් නොගෙවීම නිසා රට පුරා ක්‍රියාත්මක වන සූර්ය හා සුළං බල ව්‍යාපෘති සිය ගණනක් ඇණහිටීමේ අවදානමක් පවතින බවත්, එමගින් ජාතික විදුලි පද්ධතියට සැපයෙන මෙගාවොට් 2,500ක ධාරිතාව අහිමි වුවහොත් රට යළිත් දීර්ඝකාලීන විදුලි කප්පාදුවකට මුහුණ දෙනු ඇති බවත් එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.

“මේක දේශීය ව්‍යවසායකයා බංකොලොත් කිරීමක්”යැය ද හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික මහතා මෙසේද කීවේය.

“ව්‍යවසායකයෝ බැංකු ණය අරගෙන රටට විදුලිය දුන්නා. අද ඔවුන්ට ණය වාරිකයවත් ගෙවාගන්න සල්ලි නැහැ. ආණ්ඩුව මේ කරන්නේ දේශීය ව්‍යවසායකයා විනාශ කරන එකද? නැත්නම් ආණ්ඩුවට මේවා ගෙවන්න බැරි තරමටම රට බංකොලොත් වෙලාද කියලා අපි ප්‍රශ්න කරනවා.”

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අඩපණ වීමෙන් රට යළිත් අධික පිරිවැයක් දැරිය යුතු ගල්අඟුරු සහ තෙල් මත පදනම් වූ විදුලි නිෂ්පාදනයට යොමු වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, එමගින් පාරිභෝගිකයාගේ විදුලි බිල තවදුරටත් ඉහළ යාම සහ විදේශ විනිමය රටින් පිටවීම නතර කළ නොහැකි වනු ඇති බවද අවධාරණය කළේය.

2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය ලබා දී ඇති ජාත්‍යන්තර පොරොන්දු වත්මන් ක්‍රියාකලාපය හමුවේ “හිස් ප්‍රකාශ” බවට පත්වෙමින් තිබෙන බවද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙම අර්බුදය නිසා ක්ෂේත්‍රයේ සේවය කරන 50,000කගේ පමණ රැකියා අහිමි වීමේ තර්ජනයක් මතුව ඇති බැවින්, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම මැදිහත් වී මෙම හිඟ මුදල් පියවා බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බවට එම සංගමය දැඩිව ඉල්ලා සිටියේ ය.

Share.
Leave A Reply