2026 මැයි 04 වන දින ජාතික ගොවිජන එකමුතුවේ ගොවි නියෝජිතයෙකු විසින් කසකස්තානයෙන් අඩු මිලට (ඇ.ඩො. 220-320) පොහොර ලබාගත හැකිව තිබිය දී රජය ඇ.ඩො. 800 වැනි වැඩි මිලකට පොහොර ආනයනය කරන බවට එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය/පොහොර ලේකම් කාර්යාලය මෙම පැහැදිලි කිරීම සිදු කරනු ලබයි.
ලෝක වෙළඳපොළේ නයිට්‍රජන් පොහොර මිල සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් Argus Nitrogen (Issue 26-84 | Thursday 30 April 2026) වාර්තාවේ දත්තයන්ට අනුව, ඉහත ප්‍රකාශය පදනම් විරහිත බව පහත කරුණු මගින් තහවුරු වේ:
ලෝක වෙළඳපොළේ වත්මන් මිල ගණන්: Argus වාර්තාවට අනුව 2026 අප්‍රේල් 30 වන විට ජාත්‍යන්තර වෙළඳපොළේ යුරියා (Urea) මිල ගණන් පවතින්නේ පහත මට්ටම්වලය:
මැද පෙරදිග (Middle East fob): මෙ.ටො. 01ක් ඇ.ඩො. 840 – 900 අතර වේ.
ඊජිප්තුව (Egypt fob): මෙ.ටො. 01ක් ඇ.ඩො. 780 – 810 අතර වේ.
චීනය (China fob): මෙ.ටො. 01ක් ඇ.ඩො. 845 – 860 අතර වේ.
බ්‍රසීලය (Brazil cfr): මෙ.ටො. 01ක් ඇ.ඩො. 750 – 770 අතර වේ.
ඉන්දියාවේ මිල දී ගැනීම්: ඉන්දියාවේ IPL ආයතනය විසින් මෑතකදී සිදු කරන ලද ටෙන්ඩර් කැඳවීම්වලදී ද මිල ගණන් ඉහළ මට්ටමක පැවති අතර, ඉන්දියාව විසින් මෙ.ටො එකක් ඇ.ඩො. 900කට අධික මිලකට මිල දී ගෙන ඇති බව Argus වාර්තාව තහවුරු කරයි.
කසකස්තානයෙන් ආනයනය පිළිබඳ සත්‍යතාව: කසකස්තානයෙන් ඇ.ඩො. 220-320 අතර මිලකට යුරියා මිල දී ගත හැකි බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍යය. පොහොර ලේකම් කාර්යාලය විසින් එවැනි මිලකට ආනයනය කිරීමට ඉල්ලුම් කළ ආයතනවලට (උදා: Ceylon Trading and Plantation (Pvt) Ltd) වහාම අනුමැතිය ලබා දුන්නද, අදාළ සමාගම්වලට එම අඩු මිලට මෙතෙක් පොහොර මෙරටට ගෙන්වීමට හැකියාවක් ලැබී නොමැත.
මිල ප්‍රස්ථාර නිරීක්ෂණය: Argus වාර්තාවේ ඇතුළත් “Granular urea: Middle East fob vs Brazil cfr” ප්‍රස්ථාරයට අනුව, 2026 පෙබරවාරි මාසයෙන් පසු යුරියා මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එය වර්තමානයේ උපරිම මට්ටමක පවතින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
අදාළ ගොවි නියෝජිතයා පවසන පරිදි ඇ.ඩො. 220-320 වැනි මිලක් ලෝක වෙළඳපොළේ කිසිදු කලාපයක වර්තමානයේ නොමැති අතර, රජය කටයුතු කරන්නේ පවතින ගෝලීය වෙළඳපොළ තත්ත්වයන්ට අනුකූලව ගොවි ජනතාවට අවශ්‍ය පොහොර තොග හිඟයකින් තොරව ලබා දීමටයි.
එබැවින්, මෙවැනි අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස ගොවි ජනතාවගෙන් සහ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@@@@ ලෝක වෙළඳපොළේ පොහොර මිල අහස උසට: පොහොර ගැන පැතිරෙන පුවත් අසත්‍ය බව දත්ත මගින් තහවුරු වෙයි!
කසකස්තානයෙන් ඉතා අඩු මිලට යුරියා පොහොර ලබාගත හැකිව තිබියදී රජය වැඩි මිලට පොහොර ආනයනය කරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ජාත්‍යන්තර වෙළඳ පොළ දත්ත විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වේ.
පසුගිය මැයි 04 වනදා “රජය පොහොරවලට වැඩි මිලක් ගෙවයි” යන මැයෙන් ඇතැම් මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන බලධාරීන් පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තරව පිළිගත් Argus Nitrogen (2026 අප්‍රේල් 30) වාර්තාවට අනුව වත්මන් ලෝක වෙළඳපොළේ පොහොර මිල ගණන් ගොවි නියෝජිතයන් පවසන මිලට වඩා තුන් ගුණයකින් පමණ වැඩි බවයි.
දත්ත මගින් තහවුරු වන සත්‍ය තත්ත්වය:
Argus වාර්තාවේ නිල දත්තයන්ට අනුව 2026 අප්‍රේල් අවසානය වන විට ලෝකයේ ප්‍රධාන පොහොර නිෂ්පාදන කලාපයන්හි මිල ගණන් (මෙට්‍රික් ටොන් එකක් සඳහා) පහත පරිදි සටහන් වේ:
මැදපෙරදිග (Middle East fob): ඇමරිකානු ඩොලර් 840 – 910
චීනය (China fob): ඇමරිකානු ඩොලර් 845 – 860
ඊජිප්තුව (Egypt fob): ඇමරිකානු ඩොලර් 780 – 810
බ්‍රසීලය (Brazil cfr): ඇමරිකානු ඩොලර් 750 – 770
ගොවි නියෝජිතයන් පවසන පරිදි කසකස්තානයෙන් ඇමරිකානු ඩොලර් 220-320 අතර මිලකට පොහොර ලබාගත හැකි නම්, එවැනි මිලකට ආනයනය කිරීමට ඉදිරිපත් වූ ඕනෑම සමාගමකට රජය අනුමැතිය ලබා දී ඇත. එහෙත්, එලෙස අනුමැතිය ලබාගත් Ceylon Trading and Plantation (Pvt) Ltd ඇතුළු කිසිදු ආයතනයක් මෙතෙක් එම අඩු මිලට පොහොර ගෙන්වීමට සමත්ව නොමැති වීමෙන්ම එම ප්‍රකාශවල ඇති අසත්‍යතාව හෙළි වේ.
ඉන්දියාවත් වැඩි මිලට ගනී:
කලාපීය වශයෙන් විශාලතම පොහොර මිලදී ගන්නා ඉන්දියාව පවා පසුගිය මාසයේ යුරියා මෙට්‍රික් ටොන් එකක් මිලදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 900 ඉක්මවූ මිලකටය. Argus වාර්තාවේ “Granular urea: Middle East fob vs Brazil cfr” මිල දර්ශකයට අනුව, 2026 පෙබරවාරි මාසයේ සිට ලෝක වෙළඳපොළේ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ සැපයුම සීමා වී ඇති බවත් වාර්තා වේ.
සැබෑ තත්ත්වය මෙසේ තිබියදී, දේශපාලනික හෝ වෙනත් පටු අරමුණු වෙනුවෙන් ගොවි ජනතාව නොමග යවන මෙවැනි ප්‍රකාශ සිදු කිරීම කණගාටුදායක බවත්, ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින ඉහළ මිල ගණන් යටතේ වුවද මෙරට ගොවි ජනතාවට හිඟයකින් තොරව පොහොර ලබා දීමට රජය උපරිම උත්සාහයක නිරත වන බවත් බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි.

