රුපියල් බිලියන 38 ක පිරිවැයක් පියවා ගැනීමට ජාතික පද්ධති ක්‍රියාකරුගෙන් ඉල්ලීමක්!
සහනාධාරය ‘ඇස් බැන්දුමක්’ බවට විදුලි පාරිභෝගිකයෝ චෝදනා කරති!
බාල ගල් අඟුරු ආනයනය සහ ආයතනික අකාර්යක්ෂමතාවය හේතුවෙන් සිදුවූ රුපියල් බිලියන 38 ක දැවැන්ත පාඩුව, ඉදිරි මාසවල විදුලි ගාස්තු සංශෝධනය හරහා පාරිභෝගිකයා මත පැටවීමේ සූදානමක් පවතින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අනාවරණය කළේ ය.
පසුගිය අප්‍රේල් 27 වන දින ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් දෙවන හා තුන්වන කාර්තුවල පිරිවැය දත්ත මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර ඇති අතර, එහිදී රුපියල් බිලියන 15 ක රාජ්‍ය සහනාධාරයක් ගැන සඳහන් කරමින් මෙම පාඩුව වසන් කිරීමට උත්සාහ කරන බව එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.
සංජීව ධම්මික මහතා පෙන්වා දෙන්නේ, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය නිසා බලාගාරවලින් නියමිත මෙගාවොට් ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට නොහැකි වී ඇති බවයි.
එම හිඩැස පියවීමට ලෝක වෙළඳපොළේ අධික මිල ගණන් යටතේ ඩීසල්, දැවිතෙල් සහ නැප්තා භාවිතා කිරීමට සිදුවීම මෙම බිලියන 38 ක පාඩුවට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ බාල ගල් අඟුරු සැපයූ සමාගමෙන් මෙම පාඩුව අයකර ගැනීමට ඇති හැකියාව පිළිබඳව රජය නිසි පැහැදිලි කිරීමක් නොකිරීමයි.
“ලංකා ගල් අඟුරු සමාගමට වෙනම ආදායමක් නැහැ. ඔවුන් නඩත්තු වෙන්නේ ජනතා බදු මුදලින්. සැපයුම්කාර සමාගම මේ පාඩුව ගෙවීම ප්‍රතික්ෂේප කරලා අධිකරණයට ගියොත්, ඒ නඩු අවසන් වෙනකම් මේ පාඩුව පියවන්නේ කවුද? රජය මේ ප්‍රශ්නයට උත්තර දිය යුතුයි.” යැයි ධම්මික මහතා ප්‍රකාශ කළේ ය.
පිරිපහදුව නොකඩවා පවත්වාගෙන නොයාම, තෙල් සංස්ථාවේ ඌණ කාර්ය සාධනය සහ විදුලි උත්පාදන සමාගම විසින් අඩු පිරිවැය සහිත විකල්ප බලශක්ති ව්‍යාපෘතිවලට ඉඩ නොදීම මෙම අර්බුදය තවත් උග්‍ර කර ඇති බව ද ඔහු කීය.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගම් පවසන්නේ බලධාරීන්ගේ වැරදි තීන්දු නිසා සිදුවන මෙම පාඩුව කිසිසේත්ම ජනතාවගේ විදුලි බිලට එකතු කිරීමට ඉඩ නොදෙන බව ද හෙතෙම කීය.
මෙම අත්තනෝමතික දත්ත ඉදිරිපත් කිරීම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද විදුලි පාරිභෝගික සංවිධාන මේ වන විට සූදානම් වෙමින් පවතින බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

