මැයි 01 දේශපාලන පෙරළියක්: බෙදී ගිය කොළඹ පී.ඩී. සිරිසේන පිටියේදී එක්වේද?

මජර දේශපාලනයට තිත තියන්න එක්වන්න – සජිත්ගෙන් රනිල්ගේ පාක්ෂිකයන්ට විශේෂ පණිවිඩයක්.

මැයි 01 පෙරළිය: එජාප පාක්ෂිකයන්ට සජිත්ගෙන් විවෘත ආරාධනයක් – දේශපාලන කරළිය උණුසුම් වෙයි!

මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, එළඹෙන මැයි දින රැළිය සඳහා තමන් හා අත්වැල් බැඳගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට සහ එහි සියලුම පාක්ෂිකයන්ට නිල වශයෙන් ආරාධනා කර සිටියේ ය.

විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, දැනට පවතින “දේශපාලන සූදුව” සහ “යල්පැනගිය මජර දේශපාලන සංස්කෘතිය” අවසන් කිරීමට නම් සියලු ප්‍රගතිශීලී බලවේග එකම අරමුණක් වටා රොද බැඳිය යුතු බවයි.

මෙහිදී වඩාත් සුවිශේෂී වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ආර්ථික දැක්මයි. “සමාජ ප්‍රජාතන්ත්‍රවාදය” සහ “සමාජ වෙළෙඳපොළ ආර්ථිකය” පදනම් කරගත් මැද මාවතක් ඔස්සේ රට ගොඩනැගීමට තමන් සූදානම් බව ඔහු ප්‍රකාශ කළේ ය.

මෙය සාම්ප්‍රදායික දේශපාලන සීමාවලින් ඔබ්බට ගිය, ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙළක් ලෙස විපක්ෂ නායක වරයා ප්‍රකාශ කළේ ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට, මෙලෙස සෘජුවම සමගි ජන බලවේගයේ වේදිකාවට ආරාධනා කිරීම හරහා දෙපාර්ශවය අතර පවතින දේශපාලන පරතරය අවම කරගැනීමේ උපායමාර්ගික ප්‍රවේශයක් පවතින බව පෙනී යයි.

රටේ දියුණුව උදෙසා කැපවන සියලු දෙනාට මැයි 01 වැනිදා කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයට ලක්ෂ සංඛ්‍යාතව රොක්වන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

මෙම ආරාධනයත් සමඟ මෙවර මැයි දිනය හුදෙක් කම්කරු සැමරුමකට පමණක් සීමා නොවී ඉදිරි දේශපාලන සන්ධානගතවීම් තීරණය කරන තීරණාත්මක මංසන්ධියක් වනු ඇති බව විචාරකයෝ ප්‍රකාශ කරති.

Share.
Leave A Reply