– 2026 මිහිකත දිනය අදයි: රටවල් 193 ක බිලියනයක ජනතාවක් පාරට බසියි –

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවියේ පැවැත්ම බරපතළ තර්ජනයකට ලක්ව ඇති බවට නවතම දත්ත වාර්තා හෙළි කරයි. අදට (අප්‍රේල් 22) යෙදෙන ලෝක මිහිකත දිනය නිමිත්තෙන් නිකුත් කර ඇති වාර්තාවලට අනුව, පෘථිවිය මේ වන විට දැඩි පාරිසරික අර්බුදයක (Red Alert) පසුවේ.

පසුගිය දශක කිහිපය තුළ ලොව වෙසෙන සත්ව ගහනයෙන් සාමාන්‍යයක් ලෙස 73% ක් පමණ ශීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර එය ජෛව විවිධත්වයට එල්ල වූ මාරාන්තික පහරකි.

වාර්ෂිකව ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් මිලියන 8 සිට 14 දක්වා ප්‍රමාණයක් සාගරයට මුදා හැරෙන අතර, එමඟින් සාගර ජීවීන් සහ සමස්ත පරිසර පද්ධතියම විෂ සහිත වෙමින් පවතී.

වර්තමානයේ ලොව ජීවත් වන එක් පුද්ගලයෙකුට ගස් 400 ක් වැනි අවම අගයක් ඉතිරිව තිබුණද, ශීඝ්‍ර වන විනාශය හේතුවෙන් පෘථිවිය සිසිල් කිරීමේ ස්වභාවික හැකියාව දිනෙන් දින හීන වෙමින් පවතී.

2026 මිහිකත දින තේමාව “අපේ බලය – අපේ පෘථිවිය” (Our Power, Our Planet) යන්නයි. මෙහි මූලික ඉලක්කය වන්නේ 2030 වන විට ලෝකයේ පිරිසිදු බලශක්ති උත්පාදනය තෙගුණ කිරීම සඳහා ජාත්‍යන්තර එකඟතාවයකට පැමිණීමයි. මේ සඳහා රටවල් 193 ක බිලියනයකට අධික ජනතාවක් අද විවිධ වැඩසටහන් හරහා සිය හඬ අවදි කරති.

පරිසරවේදීන් අනතුරු අඟවන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාව අත්විඳින අධික උණුසුම සහ ජල හිඟය වැනි තත්ත්වයන් මෙම ගෝලීය වෙනස්කම්වල සෘජු ප්‍රතිඵල බවයි. ලෝක ආර්ථික සංසදය (WEF) පෙන්වා දෙන්නේ ඉදිරි දශකයේ ලොව මුහුණ දෙන ප්‍රධාන අභියෝග 10 න් 5 ක්ම පරිසර ප්‍රශ්න වනු ඇති බවයි.

එබැවින් මිහිකත දිනය යනු උත්සවයකට සීමා නොවී, පෘථිවිය සුරැකීමේ සැබෑ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු දිනය බව විශේෂඥයෝ අවධාරණය කරති.

Share.
Leave A Reply