ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ජාලය වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්විණි.

බෝ නොවන රෝග (NCD) පාලනය සහ රෝග කල්තියා හඳුනා ගැනීම වෙනුවෙන් දිවයින පුරා “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” (Arogya Health and Wellness Centers) 1,000 ක් පිහිටුවීමේ නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක් විය.

සමස්ත සෞඛ්‍ය පද්ධතියම ඩිජිටල්කරණය කිරීම හරහා රෝගී සත්කාරක සේවා කඩිනම් කිරීමට සහ දත්ත කළමනාකරණය විධිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය WHO වෙතින් හිමිවනු ඇත.

අමාත්‍යවරයාගේ ඉල්ලීම මත මෙරටට පැමිණි ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ඉන්දියාව සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ විශේෂඥයින් පිරිසක් අප්‍රේල් 24 දක්වා දිවයිනේ ක්ෂේත්‍ර චාරිකා වල නිරත වෙමින් පද්ධතියේ දුර්වලතා හඳුනා ගැනීමට නියමිතය.

මෙම නව මධ්‍යස්ථාන හරහා පිළිකා කල්තියා හඳුනා ගැනීම, රසායනාගාර පරීක්ෂණ, සහන සත්කාර සහ පෝෂණ උපදේශන සේවා ග්‍රාමීය මට්ටමින් ජනතාවට සෘජුවම හිමිවේ.

සීමිත සම්පත් කළමනාකරණය කරමින් රජය ගෙන යන මෙම වැඩපිළිවෙල WHO නියෝජිත වෛද්‍ය රාජේෂ් පාණ්ඩව් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමේ ඉහළ ඇගයීමට ලක් වූ අතර, පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය උපරිමයෙන් ලබාදීමට ද එකඟතාව පළ විය.

මෙම විශේෂඥ සමාලෝචනයෙන් පසු ලැබෙන නිර්දේශ මත පදනම්ව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝක මට්ටමේ කාර්යක්ෂම පද්ධතියක් දක්වා යාවත්කාලීන කිරීම රජයේ අරමුණයි.

Share.
Leave A Reply